General06 June 2026

ලෙබනන් යුද්ධය මැද සතුන් තනි නොකළ ශ්‍රී ලාංකීය කත ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට: අනන්‍යතාවය සෙවීමට මහජන සහය පතයි

දකුණු ලෙබනන් කලාපයට එල්ල වූ දරුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් එහි රැඳී සිටි, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බවට විශ්වාස කෙරෙන කාන්තාවක අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර අල් ජසීරා පුවත් සේවය ඊයේ (05) වාර්තා කර තිබෙනවා.

ලෙබනනය තුළ පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ බොහෝ පිරිස් ආරක්ෂිත ස්ථාන කරා පළාගොස් තිබුණද, මෙම ලාංකික කාන්තාව යුද කලාපයෙන් ඉවත්ව යාම ප්‍රතික්ෂේප කර තිබුණේ අතහැර දමා ගොස් සිටින අසරණ වීදි සතුන් පිළිබඳව උපන් දැඩි දයානුකම්පාව නිසාවෙනි.

ඒ අනුව ඇය එම අවදානම් ප්‍රදේශයේම රැඳී සිටිමින් එම බළලුන් සහ සුනඛයින් පෝෂණය කිරීමට හා රැකබලා ගැනීමට කටයුතු කරමින් සිටියදී මෙම ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයට ඍජුවම හසුවී තිබෙනවා.

අල් ජසීරා වාර්තාවට අනුව ඇයව හඳුනාගෙන ඇත්තේ 'රහ්මා' (Rahma) යන නමින් පමණක් වන අතර, ඇයගේ සැබෑ අනන්‍යතාවය, පවුලේ තොරතුරු හෝ ඇය ලංකාවේ පදිංචිව සිටි ප්‍රදේශය මෙතෙක් නිශ්චිතවම තහවුරු කර ගැනීමට හැකි වී නැහැ.

මේ හේතුවෙන් ඇයගේ සැබෑ අනන්‍යතාවය හඳුනා ගැනීම සහ ඥාතීන් සොයා ගැනීම සඳහා මෙරට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මහජනතාවගෙන් හදිසි සහයෝගයක් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකා බලධාරීන් විසින් නිකුත් කළ නිවේදනයේ මෙම මරණයට හේතු වූ පසුබිම් විස්තර හෝ මෙම සිදුවීම පිළිබඳව නිල වශයෙන් මෙතෙක් සනාථ කර නොමැති වුවද, අදාළ තොරතුරු දන්නා අයෙක් සිටී නම් වහාම දැනුම් දෙන ලෙසයි ඉල්ලා සිටින්නේ.

ඒ අනුව තොරතුරු බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැගිල්ලේ 16 වැනි මහලේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය වෙත පෞද්ගලිකව පැමිණ හෝ +94 11 227 5525 යන දුරකථන අංකය ඔස්සේ මෙන්ම [email protected] යන විද්‍යුත් ලිපිනය හරහාද තොරතුරු ලබා දිය හැකියි.

එමෙන්ම, මේ සම්බන්ධයෙන් ලබා දෙන සියලුම තොරතුරුවල රහස්‍යභාවය උපරිමයෙන් සුරකින බව ද නිලධාරීන් සහතික කර සිටිනවා.



Related recommendation
Hiru TV News | Programmes