General07 June 2026

මිනුවන්ගොඩ රන් භාණ්ඩ කොල්ලයට හිටපු සේවකයෙක් ඇතුලු 4ක් දැලේ

පසුගිය අප්‍රේල් මස 13 වැනිදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි රන් භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයකට ඇතුළු වී, එහි තිබූ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් සිව්දෙනෙකු ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඉන් එක් සැකකරුවෙකු කලකට ඉහතදී මෙම රන් භාණ්ඩ නිෂ්පාදනාගාරයේම සේවය කළ අයෙකු බවයි පොලිසිය පවසන්නේ.

ඔහු විසින් ලබා දුන් අභ්‍යන්තර තොරතුරු මත මෙම සොරකම සූක්ෂ්ම ලෙස සැලසුම් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම, කොල්ලකන ලද රන් භාණ්ඩ අතර තිබූ මුදු, මාල, වළලු, චේන් සහ පෙන්ඩන්ට් ඇතුළු රන් පවුම් 12කට අධික ප්‍රමාණයක් සැකකරුවන් විසින් කොළඹ, හෙට්ටිපොළ, හලාවත සහ කඩුවෙල යන ප්‍රදේශවල උගස් තබා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සොයාගත් මෙම රන් භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් ලක්ෂ 85කට අධික බවයි පොලිසිය සඳහන් කළේ.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සනත් අමරසිංහගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර, මෙම කොල්ලකෑමට සම්බන්ධ තවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.
Related recommendation
Hiru TV News | Programmes