International07 June 2026

ටියැන්මෙන් ඝාතනයට වසර 37යි: අමෙරිකානු රාජ්‍ය ලේකම්ගෙන් චීනයට දැඩි චෝදනා

බීජිං නුවර ටියැන්මෙන් චතුරශ්‍රයේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා උද්ඝෝෂණය කළ පිරිසට එරෙහිව 1989 දී දියත් වූ හමුදා මර්දනයේ මතකයන් වාරණය කිරීමට සහ සමාජයෙන් තුරන් කිරීමට චීනය උත්සාහ කරන බවට අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ චෝදනා කරනවා.

විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් රූබියෝ සඳහන් කළේ, චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ටියැන්මෙන් චතුරශ්‍රය සහ ඒ අවට සාමකාමීව විරෝධතාවයේ නිරත වූ දහස් සංඛ්‍යාත ජනතාවට ප්‍රහාර එල්ල කරන ලෙස තම හමුදාවන්ට නියෝග කර ජූනි 4 වැනිදාට වසර 37ක් සපිරෙන බවයි.

එහිදී ජීවිත අහිමි වූ චීන ශිෂ්‍යයන්, කම්කරුවන් සහ සාමාන්‍ය වැසියන් එහි රැස්ව සිටියේ තමන්ට හිමි මූලික අයිතිවාසිකම් භුක්ති විඳීමටත්, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ මෙන්ම දූෂණයට එරෙහිව වගවීමක් ඉල්ලා සිටීමටත් බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

එලෙස දිවිපිදූවන්ගේ පරිත්‍යාගය ලෝකය කිසිදා අමතක නොකරන බව ද ඔහු අවධාරණය කළා.

චීනය වෙත සෘජු පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ කුමන වාරණ පැනවීමක් කළ ද අතීතය මකා දැමිය නොහැකි බවයි.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාමකාමීව රැස්වීම උල්ලංඝණය වීමේ අයිතිවාසිකම් වෙනුවෙන් ජීවිත පූජා කළ අයට කවදා හෝ දවසක සාධාරණය ඉටුවනු ඇතැයි ද ඔහු පැවසුවේ.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයට අනුව, 1989 ජූනි 4 වැනිදා චීන හමුදා විසින් බෙයිජිං නුවර ටියැන්මෙන් චතුරශ්‍රය සහ ඒ අවට දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා සාමකාමීව උද්ඝෝෂණය කළ සිසුන්ට, කම්කරුවන්ට සහ සාමාන්‍ය වැසියන්ට වෙඩි තබා තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes