General08 June 2026

ඩෙංගු මර්දන වැඩසටහනේ පළමු දිනයේම පරිශ්‍ර 70,000ක් පරීක්ෂාවට: වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළ තෙදින විශේෂ ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහනේ පළමු දිනය වූ අද (08) දිනය තුළ පමණක් දිස්ත්‍රික්ක 14කට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 72 කින් පරිශ්‍ර 70,000 කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මෙම වැඩසටහන ලබන 10 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා.

මෙම මදුරු මර්දන වැඩසටහනේ පළමු දිනයේ ප්‍රගතිය පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ දී සමාලෝචනයක් සිදු කරමින් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ, තෙදින ඩෙංගු මර්දන වැඩසටහනේ ආරම්භක දින වැඩ කටයුතු ඉතා සාර්ථකව සිදු වූ බවයි.

සිදු කළ පරීක්ෂණවලදී නිවෙස්, පාසල් සහ රාජ්‍ය ආයතන රැසක ඩෙංගු මදුරුවන් බෝවිය හැකි සහ ඩෙංගු මදුරු කීටයින් සහිත ස්ථාන විශාල වශයෙන් හඳුනා ගැනීමට සෞඛ්‍ය අංශවලට හැකි වී ඇතැයි ද ඔහු සඳහන් කළා.

මෙලෙස ආයතන සහ පරිශ්‍ර රැසක මදුරු කීටයින් සහිත ස්ථාන වාර්තා වීම හේතුවෙන් ඊට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද සිදුව ඇති බව වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවා.

විශේෂයෙන්ම හිමිකරුවන් නොමැති සහ දැනට භාවිතා නොකර වසා දමා ඇති පරිශ්‍ර තුළ මදුරුවන් බෝවන ස්ථාන විශාල වශයෙන් හඳුනා ගැනීමට හැකි වූ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙම ජාතික වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජා මූලික සංවිධාන, ග්‍රාමීය කමිටු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ ඩෙංගු සහායකයින් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඒකාබද්ධව කණ්ඩායම් වශයෙන් ගෙයින් ගෙට ගොස් පරීක්ෂණ කටයුතු සිදු කර තිබුණා.

වැඩසටහන ක්‍රියාත්මක ඉදිරි දින දෙක තුළ ද ජනතාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් මේ සඳහා උපරිම සහයෝගය තවදුරටත් බලාපොරොත්තු වන බව ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
Related recommendation
Hiru TV News | Programmes