General11 June 2026

සූරේෂ් සලේගේ රිට් පෙත්සම ජූලි 10 දක්වා කල් යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම සඳහා නිකුත් කර ඇති රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ජූලි මස 10 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (11) නියෝග කළා.

මෙම පෙත්සම අද (11) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් අයි. එස්. අයි. එස්. ත්‍රස්ත සංවිධානයේ දෘෂ්ටිවාදය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කළා.

ශ්‍රී ලාංකිකයින් 39 දෙනෙකු සිරියාවට ගොස් අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි කියා සිටි ජනාධිපති නීතිඥවරයා මේ පිළිබඳව හිටපු අධිකරණ අමාත්‍යවරයකු වන විජයදාස රාජපක්ෂද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර ඇති බවත් අධිකරණයට පැවසුවා.

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී ඒ පිටුපස විදේශීය අන්තවාදී ත්‍රස්ත කල්ලියක දෘෂ්ටිවාදය පවතින බවට තොරතුරු හෙළිදරව් වී තිබියදීත් එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ශානි අබේසේකර ඒ පිළිබඳ නිසි විමර්ශන සිදු නොකළ බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා.

අදාල සිද්ධියට විදේශීය ත්‍රස්ත සංවිධානයක දෘෂ්ටිවාදී මැදිහත්වීමක් තිබෙන බවට කරුණු හෙළිදරව් වී තිබියදීත් ජාත්‍යන්තර පොලිසියේ සහය ලබා ගෙන ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කිරීමට හැකියාවක් තිබියදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඒ සම්බන්ධයෙන් නොසැලිකිළිමත්ව කටයුතු කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

2016 වසරේ අප්‍රේල් මස 20 වන දා සිට 2019 වසරේ අප්‍රෙල් මස 30 වනදා දක්වා කාලසීමාව තුළ සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී කණ්ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා 97 ක් පොලිස්පතිවරයා වෙත යොමු කර තිබූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමක සඳහන්ව තිබූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එවැනි අන්තවාදී ක්‍රියාකාරකම්වලට සහාය දක්වන පුද්ගලයින් 129 දෙනෙකුගේ ලයිස්තුවක්ද ඉදිරිපත් කර තිබූ බවත් පැවසුවා.

එහෙත් මෙවැනි අනතුරු ඇඟවීමේ වාර්තා සම්බන්ධයෙන් එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ රවි සෙනෙවිරත්න යන අය විසින් නිසි විමර්ශන සිදු නොකළ බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා.

ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් විසින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල කිතුණු දේවස්ථාන, සංචාරක හෝටල් හා ඉන්දීය තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්, පිහි ප්‍රහාරයක්, ට්‍රක් රථ ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පවතින බවට ඉන්දීය බුද්ධි අංශ විසින් 2019 වසරේ අප්‍රේල් මස 4 වැනිදා මෙරට බලධාරීන්ට දැනුම් දී තිබූ බවත් එම ප්‍රහාරයට සහභාගිවීමට නියමිත සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින්ගේ නම්ගම් පවා එම තොරතුරු තුළින් හෙළිදරව් කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

එහෙත් එම කරුණු සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කොට විමර්ශන සිදු කිරීමට වගඋත්තරකරුවන් කටයුතු නොකළ බවට චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා එම ප්‍රහාරවලට සුරේෂ් සලේ සම්බන්ධ වී ඇති බවට කිසිදු පරීක්ෂණයකින් හෝ පරීක්ෂණ කොමිසමකින් ඉදිරිපත් කළ වාර්තාවලින් අනාවරණය වී නොමැති බවත් පැවසුවා.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද හිටපු මහාධිකරණ විනිසුරු ජයකී ද අල්විස්ගේ කමිටුව විසින් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න යන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නිර්දේශ කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියා.

ඉන් අනතුරුව පෙත්සමට අදාළ වැඩිදුර කරුණු දැක්වීම් ජුලි මස 10 වැනිදා දක්වා කල්තැබීමටද අභියාචනාධිකරණය තීන්දු කළා.
Related recommendation
Hiru TV News | Programmes