General11 June 2026

මාස 2ක් ඊශ්‍රායල් ශ්‍රමිකයින් එවූ මුදල් අතුරුදන් තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී. චානක හෙළිකරයි

තමන්ගේ ජීවිත අවදානම පවා නොතකා ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට එවූ විදේශ ප්‍රේෂණ විශාල ප්‍රමාණයක්, 'ග්ලෝබල් රෙමිට්' (Global Remit) නමැති මුදල් හුවමාරු ආයතනයකට එල්ල වූ හැකර් ප්‍රහාරයක් හේතුවෙන් මාස දෙකක සිට අතුරුදන්ව ඇති බවට තොරතුරු අනාවරණය වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක පවසනවා.

මන්ත්‍රීවරයා මේ පිළිබඳව පවසා සිටියේ අද (11) පැවති පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්.

එහිදී මන්ත්‍රීවරයා පවසා සිටියේ අප්‍රේල් සහ මැයි මාසවල එවූ විදේශ ප්‍රේෂණ මෙසේ අතුරුදන්ව ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.

''තවත් හැකර් ප්‍රහාරයක් ගැන අපිට තොරතුරු ලැබිලා තියෙනවා. අද තමන්ගේ ජීවිත අවදානම ගැන නොහිතා ඊශ්‍රායලයේ ගිහින් වැඩ කරන ලංකාවේ ළමයි විශාල ප්‍රමාණයක් ඉන්නවා. වැඩිම ප්‍රේෂණ ප්‍රමාණයක් එවන රට තමයි ඊශ්‍රායලය. සාමාන්‍යයෙන් එක ළමයෙක් මාසෙකට ඩොලර් 3000ක් විතර එවනවා. හැබැයි අප්‍රේල් මාසේ ඉඳන් මේ එවන ඩොලර් ටික එක ආයතනයක හිරවෙලා තියෙනවා, හැකර් කෙනෙක් ගහලා. මෙන්න මේ ආයතනය තමයි 'ග්ලෝබල් රෙමිට්' (Global Remit) කියන්නේ.
​කවුද මේ ග්ලෝබල් රෙමිට් හරහා මුදල් එවන්න කියන්නේ? ලංකාවේ ප්‍රධානම රාජ්‍ය බැංකුවක් තමයි කියන්නේ මේ ආයතනය හරහා ඊශ්‍රායලයේ ඉන්න ළමයින්ට සල්ලි එවන්න කියලා. තවත් පෞද්ගලික බැංකුවකුත් ඒක කියනවා. මේ බැංකුවෙන් ගහපු ලීෆ්ලට් (leaflets) වල තියෙනවා 'ග්ලෝබල් රෙමිට් හරහා වැටුප් යොමු කරලා ලක්ෂ 25ක ලෝන් (loan) එකක් ගන්න' කියලා. දැන් අප්‍රේල් සහ මැයි මාසවල මේ ළමයි එවපු සල්ලිවලට වෙච්ච දෙයක් නැහැ, ඒක බ්ලොක් වෙලා. මේ ගැන බැංකුවට ගිහින් ඇහුවම කියනවා එම්බසියට (තානාපති කාර්යාලයට) යන්න කියලා, එම්බසියෙන් කියනවා බැංකුවට යන්න කියලා. සල්ලි ටික මාස දෙකක් තිස්සේ අතුරුදන්. ආණ්ඩුවේ හැකර් ගැහුවද, මාලිමාවේ හැකර් ගැහුවද, බැංකුවේ හැකර් ගැහුවද දන්නේ නැහැ, හැබැයි මුදල්වලට වෙච්ච දෙයක් නැහැ.''

Related recommendation
Hiru TV News | Programmes