General11 June 2026

නැගෙනහිරදී කොටි ත්‍රස්තයන් ඝාතනය කළ පොලිස් නිලධාරීන් සිහිපත් කෙරේ

කොටි ත්‍රස්තවාදීන් විසින් නැගෙනහිර පළාතේදී නිරායුධ පොලිස් නිලධාරීන් සමූහ වශයෙන් ඝාතනය කර අදට (11) වසර 36ක් ගතවීම නිමිත්තෙන්, මියගිය පොලිස් රණවිරුවන් සිහිපත් කිරීමේ ප්‍රධාන ගුණසමරු උත්සවය අම්පාර පොලිස් අධිකාරී කාර්යාලීය පොලිස් ස්මාරකය අසලදී පවත්වනු ලැබුවා.

මෙම අනුස්මරණ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අම්පාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල සහභාගි වූ අතර, අම්පාර කොට්ඨාස වැඩබලන නිලධාරී සහකාර පොලිස් අධිකාරී නුවන් දන්තනාරායන විසින් නියෝජ්‍ය පොලිස්පතිවරයාව පිළිගනු ලැබුවා.

ගුණසමරු උත්සවයේ කටයුතු සර්ව ආගමික වතාවත් පැවැත්වීමෙන් ආරම්භ වූ අතර, අනතුරුව අම්පාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අතින් පොලිස් කොඩිය අඩකුඹු කිරීම සිදු වුණා.

ඉන්පසු පොලිස් ස්මාරකය වෙත නිල පොලිස් උත්තමාචාර පැවැත්වීමෙන් අනතුරුව, නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මල්දමක් තබා රණවිරු ස්මාරකය වෙත තම උපහාරය දක්වනු ලැබුවා.

පසුව අම්පාර කොට්ඨාස වැඩබලන නිලධාරී සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිස් නිලධාරීන් ද රණවිරු ස්මාරකයට මල් තබා උපහාර දැක්වීමට කටයුතු කළා.

මෙම අවස්ථාවට සහභාගි වූ උසස් පොලිස් නිලධාරීන්ට අමතරව, එදා සිදු වූ එම දරුණු ඛේදවාචකයෙන් ජීවිතක්ෂයට පත් වූ පොලිස් නිලධාරීන්ගේ ආදරණීය දෙමාපියන් සහ දරුවන් ද හැඬූ කඳුළින් යුතුව ස්මාරකය වෙත මල් තබමින් තම ඥාතීන් වෙනුවෙන් උපහාර පැවැත්වීම සංවේදී දසුනක් වුණා.

මෙහිදී අදහස් දැක්වූ අම්පාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේ, මෙම ඛේදවාචකය සමස්ත පොලිස් ඉතිහාසය තුළ සදාකාලිකවම අමතක නොවන සිදුවීමක් බවයි.

මෙම ගුණසමරු අවස්ථාව සඳහා අම්පාර සහකාර පොලිස් අධිකාරී (2) බණ්ඩාර දිසානායක, මහඔය සහකාර පොලිස් අධිකාරී සුජීව ප්‍රියන්ත බණ්ඩාර සහ පොතුවිල් සහකාර පොලිස් අධිකාරී එම්. දයාරත්න ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.
Related recommendation
Hiru TV News | Programmes