International12 June 2026

දකුණු චීන මුහුදේ චීන පාවෙන ව්‍යුහය වහාම ඉවත් කරන්න: පිලිපීනයෙන් දැඩි බලපෑම්!

දකුණු චීන මුහුදේ මතභේදයට තුඩු දී ඇති ‘ස්කාබරෝ ෂෝල්’ වැලිපර කලාපයේ චීනය විසින් ස්ථාපනය කර ඇති පාවෙන ව්‍යුහය වහාම ඉවත් කරන ලෙස පිලිපීන රජය බීජිං පාලනයෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම, මෙම සොභාවික වැලිපරය කෘතිම දූපතක් බවට පත් කිරීමට චීනයට කිසිසේත්ම ඉඩ නොතබන බවයි පිලිපීනය අවධාරණය කර ඇත්තේ.

පිලිපීන වෙරළාරක්ෂක බලකාය පෙන්වා දෙන්නේ චීන පර්යේෂණ නෞකා මගින් මෙම ජංගම වේදිකාව එහි රඳවා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් පිලිපීන රජය පසුගිය අඟහරුවාදා චීනය වෙත සිය රාජ්‍යතාන්ත්‍රික විරෝධයද නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

"ආරක්ෂක සහ යුධමය දෘෂ්ටිකෝණයකින් බලන විට, අපගේ වගකීම ඉටු කිරීමට අප උපරිමයෙන් කටයුතු කරනවා. චීනය විසින් ‘බාහෝ ඩේ මැසින්ලොක්’ තවත් එක් කෘතිම දූපතක් බවට පත් කිරීම වැළැක්වීමත් ඊට ඇතුළත්," යනුවෙන් පිලිපීන නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක රෝයි ට්‍රිනිඩෑඩ් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

පිලිපීන ආරක්ෂක නිලධාරීන් විසින් මෙම පාවෙන ව්‍යුහයේ ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

එම ඡායාරූපවල දැක්වෙන්නේ හතරැස් හැඩැති වේදිකාවක් මත මිනිසුන් කිහිප දෙනෙකු රැඳී සිටින අයුරු සහ එහි මධ්‍යයේ සවිකර ඇති ඇන්ටනාවක්.

ලී ලෑලි යොදා ගනිමින් මැද කොටස තට්ටුවක් ලෙස සකසා ඇති මෙම ව්‍යුහය, ජලයේ පාවීම සඳහා වට ප්‍රමාණය පුරා සිලින්ඩරාකාර පාවෙන උපාංග යොදා ආරක්ෂිතව සවි කර ඇති බව එම ඡායාරූප නිරීක්ෂණයේදී පැහැදිලි වෙනවා.
Related recommendation
Hiru TV News | Programmes