General14 June 2026

දුරකථන කේබල් සොරකම් කළ සැකකරුවන් තිදෙනෙක් රාගම සහ මොරටුවෙන් කොටු

දුරකථන සම්ප්‍රේෂණ කුළුණුවල සහ මාර්ගවල ඇති දුරකථන කේබල් කපා සොරකම් කිරීම ඇතුළු දේපළ සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් මත්ද්‍රව්‍ය සහ සොරාගත් භාණ්ඩ තොගයක් සමඟ රාගම සහ මොරටුව පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.

රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (13) සවස සිදු කළ වැටලීමකදී, එම පොලිස් වසමේ දුරකථන සම්ප්‍රේෂණ කුළුණුවල කේබල් කපා සොරකම් කරන ලද සැකකරුවන් දෙදෙනෙක් මෙලෙසෙ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17 යි මිලිග්‍රෑම් 700 ක් පොලිස් භාරයට ගෙන ඇතැයි ද වාර්තා වෙනවා.

පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන් විසින් රුපියල් 922,750/- ක් පමණ වටිනාකමින් යුතු කේබල් කපා සොරකම් කර ඇති බවයි.

වයස අවුරුදු 27 සහ 34 ක් වන මොවුන් රතුපස්වල හා කඩවත ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් මත සොරකම් කරන ලද කේබල් කොටස් තොගයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

රාගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර, මොරටුව පොලිස් වසමේ අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ද ඊයේ (13) සවස සැකකටයුතු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී ඔහු මොරටුව පොලිස් වසමේදී රුපියල් 180,000/- ක් පමණ වටිනා දුරකථන රැහැන් කපා සොරකම් කිරීම ඇතුළු, ගෙවල් බිඳ දේපළ සොරකම් රැසකට සම්බන්ධ අයෙකු බව හෙළි වී ඇතැයි පොලිසිය පවසනවා.

රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි මෙම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් ඇසුරින් සොරකම් කරන ලද රූපවාහිනියක් සහ තඹ කම්බි කොටස් තොගයක් පොලිස් භාරයට ගෙන ති‍බුණා.

මොරටුව පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes