General15 June 2026

පාසල් දරුවන් ඩෙංගු රෝගයට ගොදුරුවීමේ අවදානමක් - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති

පාසල් දරුවන් ඩෙංගු වෛරසයට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසනවා.

අද කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවට වන තොරතුර අසත්‍ය බවයි.

ඩෙංගු මර්දන සතියට සමගාමීව අද, හෙට සහ අනිද්දා දින තුනේම නාගරික ප්‍රදේශ, අවහිර වූ කාණු පද්ධති, වෙළෙඳ සංකීර්ණ, ආගමික ස්ථාන සහ බස් නැවතුම්පොළ ඇතුළු සියලු‍ම පොදු ස්ථාන පිරිසිදු කිරීම සිදු වනවා.

මේ අතර ජුනි 18 වැනිදා පාසැල්, පෙර පාසැල් සහ පෞද්ගලික උපකාරක පන්ති ඇතුළු සියලු‍ම අධ්‍යාපන ආයතන පරිශ්‍ර පිරිසිදු කිරීම සිදුවනවා.

එමෙන්ම ජුනි 19 වැනිදා සියලු‍ම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම කර්මාන්තශාලා පරිශ්‍ර පිරිසිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

ජුනි 20 වැනිදා පිරිසිදු කිරීමට නියමිතව ඇත්තේ පෞද්ගලික නිවාස සහ නිවාස අවට පරිශ්‍රයි.

ගෙවුණු සති දෙක තුළ ඩෙංගු රෝගයේ ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කළ අතර ඊයේ දිනය වනවිට මුළු දිවයිනෙන්ම වාර්තා වී තිබූ ඩෙංගු රෝගීන් ගණන 41,925ක්.

ඉන් සියයට 51 ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එම ප්‍රමාණය 21,451ක්.

එවැනි පසුබිමක ඩෙංගු හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව ද 24ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එවන් පසුබිමකයි ප්‍රදේශ රැසක ඩෙංගු මර්දන වැඩසටහන් අද ක්‍රියාත්මක වුණේ.
Related recommendation
Hiru TV News | Programmes