International15 June 2026

හෝමුස් විවෘත කිරීමට ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය පෙරමුණට: රටවල් 20ක ඒකාබද්ධ මෙහෙයුමක් සූදානම්

අමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ නව සාම එකඟතාවත් සමඟ, වසා දමා තිබූ ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ (Strait of Hormuz) නැවත විවෘත කිරීමේ බහුපාර්ශ්වීය මෙහෙයුම සඳහා ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය ඒකාබද්ධව නායකත්වය ලබා දෙන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

ලෝක වෙළඳාමට සහ බලශක්ති සැපයුමට තීරණාත්මක වන මෙම මුහුදු මාර්ගය ආරක්ෂිතව විවෘත කිරීම සහ එහි නාවික කටයුතු සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් රටවල් 20 ක පමණ සහභාගීත්වයෙන් යුත් විශේෂ ජාත්‍යන්තර බලකායක් (Multinational Mission) මේ වන විටත් ස්ථාපනය කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරානය අතර යුද වාතාවරණය නිමා කරමින් එළඹුණු එකඟතාවය තමන් අගය කරන බව පවසමින් ප්‍රංශ ජනාධිපතිවරයා සිය 'X' (ට්විටර්) ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ කිසිදු බාධාවකින් හෝ බදු පැනවීමකින් තොරව හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය කඩිනමින් ආරම්භ කිරීම ගෝලීය ආර්ථිකයේ ස්ථාවරත්වයට අත්‍යවශ්‍ය කරුණක් බවයි.
Related recommendation
Hiru TV News | Programmes