International16 June 2026

අමෙරිකානු ගුවන් හමුදාවේ දැවැන්ත B-52 යානයක් කඩා වැටෙයි; එඩ්වර්ඩ්ස් ගුවන් පථය වහාම වසා දමයි

අමෙරිකානු එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් B-52 ස්ට්‍රැටෝෆෝට්‍රස් (B-52 Stratofortress) වර්ගයේ දැවැන්ත බෝම්බ හෙළන යානයක් දකුණු කැලිෆෝනියාවේ එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරෙන් (Edwards Air Force Base) ගුවන්ගත වී සුළු වේලාවකින් අනතුරට ලක්ව ඇති බව එම බලධාරීන් නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

යානය කඩා වැටීමත් සමඟ එම ප්‍රදේශයෙන් සැතපුම් ගණනාවක් ඈතට දිස්වන පරිදි විශාල කළු දුමාරයක් අහසට නැඟී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත්, අනතුර හේතුවෙන් කිසිවෙකුටවත් තුවාල හෝ ජීවිත හානි සිදුව ඇතිද යන්න පිළිබඳව ගුවන් කඳවුරු බලධාරීන් මෙතෙක් නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නැහැ.

"හදිසි මුදවා ගැනීමේ කණ්ඩායම් වහාම අනතුර සිදුවූ ස්ථානයට ළඟා වී ඇති අතර, මෙහෙයුම් කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි. වැඩිදුර තොරතුරු අනාවරණය වූ වහාම ලබාදීමට කටයුතු කරනවා." යනුවෙන් ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ පිළිබඳව බීබීසී (BBC) පුවත් සේවය එඩ්වර්ඩ්ස් ගුවන් කඳවුරේ නියෝජිතයෙකුගෙන් විමසීමක් කර ඇති අතර, ඔවුන් දැනට පවතින තත්ත්වය පිළිබඳව අමතර අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අනතුරින් පසු 'X' සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුර සඳහන් කර ඇත්තේ, වහාම ක්‍රියාත්මක වන පරිදි ගුවන් පථය වසා දමා ඇති අතර කඳවුර වෙත පැමිණීමට නියමිතව තිබූ අනෙකුත් සියලුම ගුවන් යානා වෙනත් ගුවන් පථ වෙත හරවා යැවීමට පියවර ගත් බවයි.

මීට අමතරව, සමස්ත කඳවුරේ අවධානය හදිසි සහන සේවා මෙහෙයුම් වෙත පමණක් යොමු කිරීම සඳහා වාණිජ නොවන බාහිර අමුත්තන් පැමිණීමේ බලපත්‍ර ද තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.

මූලාශ්‍රය - බීබීසී
Related recommendation
Hiru TV News | Programmes