International19 June 2026

නයිජර් රාජ්‍යයේ විශාලතම ගුවන් තොටුපොළට වෙඩි ප්‍රහාරයක්: පුද්ගලයන් 35ක් ජීවිතක්ෂයට

නයිජර් රාජ්‍යයේ විශාලතම ගුවන් තොටුපොළට සන්නද්ධ තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් සඳහන් කරනවා.

මෙය මාස පහකටත් අඩු කාලයක් තුළ මෙම ස්ථානයට එල්ල වූ දෙවන ප්‍රහාරය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

බහුතරයක් මුස්ලිම් ජාතිකයන් වෙසෙන මෙම රටේ වැසියන් BBC පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ, තමන් පෙරවරු යාච්ඤා කටයුතු අවසන් කරනවාත් සමගම අගනුවර වන නියාමි (Niamey) හි පිහිටි දියෝරි හමානි (Diori Hamani) ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දෙසින් පිපිරීම් සහ වෙඩි තැබීම් ශබ්ද ඇසුණු බවයි.

නයිජර් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, මියගිය පිරිස අතර ප්‍රහාරකයන් 22 දෙනෙකු, සෙබළුන් 11 දෙනෙකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු සිටින බවයි.

අල්-කයිඩා (Al-Qaeda) සංවිධානයට අනුබද්ධ 'ජමාත් නුස්රත් අල්-ඉස්ලාම් වල්-මුස්ලිමීන්' (JNIM) නමැති කණ්ඩායම මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

නයිජරය දශකයක පමණ කාලයක සිට ඉස්ලාමීය කැරලිකරුවන්ට එරෙහිව සටන් වදිමින් සිටින අතර, ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ සංවිධානයක් විසින් පසුගිය ජනවාරි මාසයේදීද මෙම ගුවන් තොටුපොළටම එල්ල වූ ප්‍රහාරයක වගකීම භාරගෙන තිබුණා.

ආරක්ෂක අංශ විසින් ප්‍රහාරයට සම්බන්ධ වී පලාගිය සෙසු සැකකරුවන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, මියගිය ප්‍රහාරකයන් 22 දෙනාට අමතරව තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම සැකකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ඔවුන් පවසා තිබෙනවා.

_BBC_
Related recommendation
Hiru TV News | Programmes