Entertainment19 June 2026

GTA 6 නිල කවරය සහ පෙර-ඇණවුම් දිනය එළියට

ලොව පුරා වීඩියෝ ක්‍රීඩා ලෝලීන් දැඩි උනන්දුවකින් යුතුව බලාපොරොත්තුවෙන් සිටින Grand Theft Auto 6 (GTA 6) ක්‍රීඩාවේ පූර්ව විකුණුම් (Pre-sales) කටයුතු එළඹෙන ජූනි 25 වැනිදා සිට ආරම්භ කරන බව එහි සංවර්ධක සමාගම වන Rockstar Games නිවේදනය කර තිබෙනවා.

PlayStation Store වැනි ඩිජිටල් වෙළෙඳසැල් මෙන්ම තෝරාගත් අනෙකුත් සිල්ලර වෙළෙඳ ජාල හරහා ද එදින සිට පූර්ව ඇණවුම් ලබා දීමේ හැකියාව පවතින බවයි වාර්තා වෙන්නේ.

මීට පෙර 2025 වසරේ සරත් සමයේ සහ මැයි මාසයේදී නිකුත් කිරීමට සැලසුම් කර තිබුණ ද, අවස්ථා දෙකකදීම සිදු වූ ප්‍රමාදවීම්වලින් අනතුරුව GTA 6 ක්‍රීඩාව එළඹෙන නොවැම්බර් 19 වැනිදා PlayStation 5 සහ Xbox Series X/S සන්නිවේදක පද්ධති (Consoles) සඳහා නිල වශයෙන් නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙහි පෙර සංස්කරණය වූ GTA 5 ක්‍රීඩාව 2013 වසරේදී නිකුත් කෙරුණු අතර, එය ලොව ඉතිහාසයේ දෙවනුවට වැඩිම අලෙවියක් වාර්තා කළ වීඩියෝ ක්‍රීඩාව ලෙසයි සැලකෙන්නේ.

කෙසේ වෙතත්, බ්‍රහස්පතින්දා දින සිදුකළ මෙම විශේෂ නිවේදනයේදී ද GTA 6 හි නිල මිල ගණන් ප්‍රකාශ කිරීමට රොක්ස්ටාර් සමාගම පියවර ගෙන නැහැ.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ උපදේශන ආයතනයක් වන Epyllion සමාගම 2025 වසරේදී නිකුත් කළ වාර්තාවකින් පෙන්වා දී තිබුණේ, මෙම ක්‍රීඩාව ඩොලර් 100ක (ගෝලීය මට්ටමේ ඉහළම මිලක්) පිරිවැයකින් යුතුව වෙළෙඳපොළට පැමිණෙන පළමු ක්‍රීඩාව වීමට ඉඩ ඇති බවයි.

පෙර-ඇණවුම් දිනය ප්‍රකාශයට පත් කිරීමට සමගාමීව, තත්පර 30ක කෙටි වීඩියෝවක් ඔස්සේ ක්‍රීඩාවේ නිල කවරය (Cover Art) ද ප්‍රසිද්ධියට පත් කර ඇත. වේගවත් සින්ත් (Synth) සංගීතයක් පසුබිමින් දිවෙන මෙම වීඩියෝව මඟින් ක්‍රීඩාවේ ප්‍රධාන චරිත ද්විත්වය වන ජේසන් (Jason) සහ ලුසියා (Lucia) ගේ මුහුණු මෙන්ම ඉදිරියේදී දැකගත හැකි තවත් චරිත කිහිපයක් ද ප්‍රදර්ශනය කෙරෙනවා.

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ හැඩතල ආශ්‍රයෙන් නිර්මාණය වූ, ක්‍රීඩාවට පාදක වන 'ලියොනිඩා' (Leonida) නමැති ප්‍රබන්ධ ප්‍රාන්තයේ ස්වභාවය විදහා දැක්වීම සඳහා කවරයට ෆ්ලෙමින්ගෝ පක්ෂීන් සහ අලිගේටර් (Alligators) උරඟයින් ද ඇතුළත් කර තිබේ. මීට අමතරව, මෙම ක්‍රීඩා මාලාවටම ආවේණික වූ පොප්-ආර්ට් (Pop-art) ශෛලියෙන් සහ විචිත්‍රවත් වර්ණයෙන් යුතුව නිමවා ඇති කවරය වේගවත් මෝටර් රථ, හෙලිකොප්ටර් සහ යතුරුපැදිවලින් ද හැඩ වී ඇති බව සඳහන්.

GTA රසිකයන් තවමත් මෙහි සැබෑ ක්‍රීඩා දර්ශන ඇතුළත් නවතම ට්‍රේලරයක් (Gameplay Trailer) අපේක්ෂාවෙන් පසුවන අතර, 2023 සහ 2025 වසරවලදී මීට පෙර නිකුත් කෙරුණු ට්‍රේලර් ද්විත්වය මේ වන විට සමස්තයක් ලෙස මිලියන 446ක නැරඹුම් වාර සංඛ්‍යාවක් (Views) පසුකර තිබීම ද විශේෂත්වයක්.
Related recommendation
Hiru TV News | Programmes