International19 June 2026

චීන විදේශ ඇමති ඉන්දියාවට

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ජූනි 22 සහ 23 යන දිනවල ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැත්වෙන BRICS රටවල ජාතික ආරක්ෂක උපදේශකවරුන්ගේ මීළඟ රැස්වීමට සහභාගී වන බව චීන රජය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සභික සහ විදේශ කටයුතු පිළිබඳ මධ්‍යම කොමිෂන් සභා කාර්යාලයේ අධ්‍යක්ෂ වැන්ග් යී මෙම සංචාරයට එක්වන්නේ, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් කළ නිල ආරාධනයකට අනුව බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු ‘X’ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රකාශ කළේ.

ඒ අනුව ඔහු ඉන්දියාවේදී පැවැත්වෙන 16 වැනි ‘බ්‍රික්ස්’ ජාතික ආරක්ෂක උපදේශකවරුන්ගේ සහ ආරක්ෂක අංශ උසස් නියෝජිතයන්ගේ සමුළුවට සහභාගී වනු ඇති.

මෙය වසරකට ආසන්න කාලයකට පසු වැන්ග් යී ඉන්දියාවේ නිරත වන පළමු සංචාරයයි.

ඔහු අවසන් වරට පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඉන්දියාවේ සංචාරය කළ අතර, එහිදී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් හමුවී සාකච්ඡා පවත්වා තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes