General01 July 2026

අමෙරිකානු නියෝජිතයින් හමුවීම ඉරානය ප්‍රතික්ෂේප කරයි - සාම ගිවිසුමේ බලාපොරොත්තු අවිනිශ්චිත තත්ත්වයකට

කලාපය තුළ හටගත් යුදමය ගැටුම්කාරී තත්ත්වයෙන් පසුව එහි පැමිණි ඉහළ පෙළේ ඇමරිකානු නියෝජිතයින් හමුවීම තමන් ප්‍රතික්ෂේප කරන බව ඉරානය පසුගිය අඟහරුවාදා ප්‍රකාශ කළ බව රොයිටර්ස් පුවත් සේවය පවසනවා.

මේ හේතුවෙන් දෙරට අතර ස්ථිර සාමයක් ඇති කරගැනීම සඳහා පවතින අවස්ථා තවදුරටත් අවිනිශ්චිත වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉරාන බලධාරීන් පෙන්වා දෙන්නේ න්‍යෂ්ටික වැඩසටහන් සීමා කිරීම වැනි වඩාත් සංකීර්ණ මාතෘකා පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර, මීට සති දෙකකට ඉහතදී දෙපාර්ශවය අත්සන් තැබූ සටන්විරාම ගිවිසුමේ කොන්දේසි නිසි පරිදි නිරාකරණය කරගත යුතු බවයි.

මෙම වර්ධනයන් පෙන්වා දෙන්නේ මූලික එකඟතා රාමුවේ ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවය තවමත් එකිනෙකට බෙහෙවින් පටහැනි ස්ථාවරයන්හි පසුවන බවයි.

එම මූලික එකඟතාවයට අනුව, ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වෙත පනවා ඇති අවහිරතා ඉවත් කිරීමට හිලව් වශයෙන් ඔවුන්ට මූල්‍ය දිරිගැන්වීම් ලබාදීමට නියමිතව තිබූ අතර, ස්ථිර සාම ගිවිසුමක් සඳහා දින 60ක සාකච්ඡා කාලසීමාවක් ද වෙන්කර තිබුණා.

ධවල මන්දිරය විසින් "ඉහළ මට්ටමේ" සාකච්ඡා ලෙස හැඳින්වූ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක් සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජැරඩ් කුෂ්නර් (Jared Kushner) සහ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් (Steve Witkoff) දෝහා නුවරට පැමිණි සිටි බව සඳහන්.

නමුත් ඉරානය සහ සත්කාරක කටාර් රාජ්‍යය ප්‍රකාශ කළේ ඔවුන් ඉරාන නියෝජිතයින් සෘජුව හමුනොවන අතර, මැදිහත්කරුවන් සමඟ පමණක් සාකච්ඡා පවත්වනු ඇති බවයි.

කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි (Sheikh Mohammed bin Abdulrahman al-Thani) ද විට්කොෆ් සහ කුෂ්නර් හමුවූ පිරිස අතර සිටි බව කටාර් රාජ්‍යය තහවුරු කළා.

"ඉදිරි දින කිහිපය තුළ ඇමරිකානු පාර්ශවය සමඟ කිසිදු මට්ටමක සාකච්ඡාවක් සැලසුම් කර නැහැ," යැයි ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි පවසා සිටියා.

කෙසේ වෙතත්, කටාර් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාජිඩ් අල්-අන්සාරිට අනුව, දෙරට අතර පහළ මට්ටමේ තාක්ෂණික සාකච්ඡා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes