General06 July 2026

පෑලියගොඩ මහා පරිමාණ සීනි ජාවාරමක් වටලයි: කල් ඉකුත් වූ සීනි අලුත් කර වෙළඳපොළට දීලා

පෑලියගොඩ ප්‍රදේශයේ ගබඩාවක කල් ඉකුත් වූ සීනි නැවත අලුත් ඇසුරුම්වල බහා වෙළඳපොළට නිකුත් කිරීමේ මහා පරිමාණ ජාවාරමක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සහ පාරිභෝගික සේවා අධිකාරිය එක්ව සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී අද (06) දින වටලා ඇත.

මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම සීනි තොගය සමඟ එම ගබඩාවේ කළමණාකරුද පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකාය විසින් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ වෙත ලබාදෙන ලද රහසිගත තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

පෑලියගොඩ, පෙතියාගොඩ, ප්‍රදේශයේ පිහිටි ගබඩා සංකීර්ණයක් තුළ පවත්වාගෙන යන ආයතනයක් විසින් මෙම සීනි තොගය එහි ගබඩා කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම ආයතනය විසින් කල් ඉකුත් වූ සීනි නව ඇසුරුම්වල බහා, ඒවායේ කල් ඉකුත් වීමේ දිනය සහ වෙළඳ නාමය වෙනස් කරමින් වෙළඳපොළට නිකුත් කර ඇති බවට හෙළිව ඇතැයි පොලිසිය පවසනවා.

එමෙන්ම එහි තිබූ ඉතා දුර්වර්ණ වූ සීනි තොග නීති විරෝධී කසිප්පු නිෂ්පාදනය සඳහා විකිණීම සිදුකර ඇති බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් අදාල ගබඩාව වහාම ක්‍රියාත්මක වන පරිදි මුද්‍රා තැබීමට කටයුතු කර තිබෙනවා.

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගලගේ නියෝග පරිදි මෙම වැටලීම සිදු කෙරුණා.

එම බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන්, ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ශාන්ත, පොලිස් පරීක්ෂක ජනිත කුමාර, උප පොලිස් පරීක්ෂක මධුෂාන්, පොලිස් සැරයන්වරුන් වන 34950 සම්පත්, 71032 දිනේෂ්, පොලිස් කොස්තාපල්වරුන් වන 39850 අෂාන්, 91305 රශ්මික, 104327 දිල්ශාන්, 104643 සේනාරත්න, 104792 අබේකෝන්, පොලිස් කොස්තාපල් රියැදුරු 94735 මධුසංක සහ 105529 සිල්වා යන නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes