International10 July 2026

පාම් බීච් ගුවන් තොටුපළ නිල වශයෙන් ‘ඩොනල්ඩ් ට්‍රම්ප්’ නමින් නම් වේ

ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පිහිටි ප්‍රකට 'පාම් බීච් ජාත්‍යන්තර ගුවන් තොටුපළ' (Palm Beach Inteational Airport) නිල වශයෙන් 'ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් ජාත්‍යන්තර ගුවන් තොටුපළ' (President Donald J. Trump Inteational Airport) ලෙස ඊයේ (ජූලි 9) දින සිට නම් කර ඇති බව රොයිටර් (Reuters) පුවත් සේවය වාර්තා කරනවා.

ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) විසින් මෙම ගුවන් තොටුපළ හඳුනාගැනීම සඳහා මෙතෙක් පැවති 'PBI' යන අකුරු තුනේ ජාත්‍යන්තර සංකේතය නිල වශයෙන් ජනාධිපතිවරයාගේ නම නිරූපණය වන පරිදි 'DJT' ලෙස වෙනස් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ගුවන් ගමන් වෙන්කරවා ගැනීමේ පද්ධති, ටිකට්පත් සහ ගමන් මලු ටැග් (Baggage tags) සඳහා මෙය ලබන අගෝස්තු 18 වැනිදා සිට සම්පූර්ණයෙන්ම යාවත්කාලීන වන බැවින්, එතෙක් මගීන්ට 'PBI' කේතයම භාවිතා කිරීමට සිදුවන බව ගුවන් තොටුපළ බලධාරීන් පවසනවා.

මෙම සමස්ත නාම සංශෝධන සහ පද්ධති යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් වැය වී තිබෙනවා.

ෆ්ලොරීඩා ප්‍රාන්ත ආණ්ඩුකාර රොන් ඩේසැන්ටිස් (Ron DeSantis) විසින් පසුගිය මාර්තු මාසයේදී අත්සන් කරන ලද විශේෂ පනතක් මගින් මෙම නම වෙනස් කිරීමට අනුමැතිය හිමිවුණා.

ට්‍රම්ප්ගේ ප්‍රකට 'මාර්-ඒ-ලාගෝ' (Mar-a-Lago) සුඛෝපභෝගී නිිකේතනය පිහිටා තිබෙන්නේ ද මෙම පාම් බීච් කලාපයේම වීම විශේෂත්වයක්.

නව නාමය සහිත ගුවන් තොටුපළ වෙත අලුයම් කාලයේදී ගොඩබස්වන ලද ප්‍රථම ගුවන් යානය බවට පත්වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පුත් එරික් ට්‍රම්ප් (Eric Trump) සහ ඔහුගේ පවුලේ පිරිස රැගත් පෞද්ගලික ගුවන් යානයක්.

"පළමු යානය ලෙස UPS (භාණ්ඩ ප්‍රවාහන) යානයක් මෙහි ගොඩබස්වන්නට මට කිසිසේත්ම අවශ්‍ය වූයේ නැහැ" යැයි ඔහු 'Fox & Friends' නාලිකාව සමඟ සිනාසෙමින් පවසා තිබෙනවා.

මීට පෙර ද ඇමෙරිකාවේ ගුවන් තොටුපළවල් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් නම් කර ඇති අතර, ලිට්ල් රොක් (Little Rock) ගුවන් තොටුපළ බිල් ක්ලින්ටන් සහ හිලරි ක්ලින්ටන් වෙනුවෙන් නම් කර තිබුණ ද, එහි පැරණි ගුවන් තොටුපළ කේතය (LIT) වෙනස් කර නොතිබීම විශේෂත්වයක්.
Related recommendation
Hiru TV News | Programmes