International12 July 2026

ඉරානයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර

අනුමත නොකළ මුහුදු මාර්ගයක ගමන් කළ නෞකාවකට ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු, ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන 'හෝමූස් සමුද්‍ර සන්ධිය' (Strait of Hormuz) වසා දැමීමට පියවර ගත් බව ඉරානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සිදුවීම මුල් කරගනිමින් තමන් වෙත එල්ල වන ඕනෑම ආකාරයක ප්‍රතිප්‍රහාරයකට "දැඩි ප්‍රතිචාරයක්" ලබා දෙන බව ද ඉරාන බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකායේ (IRGC) නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, අදාළ නෞකාව සිය සන්නිවේදන පද්ධති ක්‍රියා විරහිත කරමින් සමුද්‍රීය ආරක්ෂාව අනතුරේ හෙලූ බැවින් එයට ප්‍රහාර එල්ල කර ගමන නවතා දැමීමට කටයුතු කළ බවයි.

කෙසේ වෙතත්, ප්‍රහාරයට ලක්වූ නෞකාව පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු මෙතෙක් අනාවරණය කර නැහැ.

මෙම කලාපයෙන් අමෙරිකානු මැදිහත්වීම් අවසන් වනතුරු සහ ඉදිරි දැනුම්දීමක් සිදු කරන තුරු හෝමූස් සමුද්‍ර සන්ධිය වසා තැබෙනු ඇතැයි ද ඉරානය අවධාරණය කරනවා.

මේ අතර, ඉරානයේ මෙම පියවරට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය (US Central Command) ප්‍රකාශ කළේ සිවිල් සහ වාණිජ නෞකාවලට ඉරානයෙන් එල්ල වන තර්ජන මැඩපැවැත්වීම සඳහා තමන් ඉරාන ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කර ඇති බවයි.

ප්‍රහාරයට ලක්වූ නෞකාව සයිප්‍රස් රාජ්‍යයට අයත් බහාලුම් ප්‍රවාහන නෞකාවක් බවත්, එහි එන්ජින් කාමරයට දැඩි හානි සිදුව ඇති අතර එක් සිවිල් සේවකයෙකු අතුරුදහන් වී ඇති බවත් අමෙරිකානු ආරක්ෂක අංශ තහවුරු කළා.
Related recommendation
Hiru TV News | Programmes