General13 July 2026

දර ප්‍රවාහනය කළ ට්‍රැක්ටරයක් තේ වත්තකට පෙරළෙයි: රියැදුරු රෝහලේ

තේ කර්මාන්තශාලාවකට දර ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටරයක් මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තකට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් එහි රියැදුරු තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි බගවන්තලාව පොලිසිය පවසනවා.

අදාල වතුයායේ පැළ තවානේ සිට තේ කර්මාන්තශාලාව දක්වා දර ප්‍රවාහනය කරමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ට්‍රැක්ටර් රථයේ එන්ජිම සහ ටේලර් රථය (පිටුපස කොටස) සම්බන්ධ වන ස්ථානය එකවරම කැඩී යාම නිසා ට්‍රැක්ටරය රියැදුරුගේ පාලනයෙන් මිදී මෙලෙස තේ වත්තට පෙරළී ඇති බවයි වතුයායේ පාලන අධිකාරිය පැවසුවේ.

අනතුරින් තුවාල ලැබූ රියැදුරු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට මාරු කර යැවීමට පියවර ගත් බවයි බගවන්තලාව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.
Related recommendation
Hiru TV News | Programmes