General14 July 2026

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එකඟ නැහැ: අධිකරණ සේවා සංගමය ජනපතිට ලියයි

අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සිය සංගමය එකඟ නොවන බවට දන්වමින් ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එමෙන්ම රජයේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මෑත යුගයේ ඉදිරිපත් වූ භයානකම ව්‍යවස්ථාමය අත්හදාබැලීමක් බව ලිපියක් යොමුකරමින් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් ප්‍රකාශ කළා.

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ මහ සභාවක්ද කැඳවා තිබුණේ පසුගිය සෙනසුරාදායි.

එදින රැස්වූ සිය සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී පැවති රහස් ඡන්දයේදී මේ සම්බන්ධයෙන් ඒකමතික තීරණයකට එළැඹි බව එම ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මෙම ලිපියෙහි පිටපත් අගමැතිණිය, කථානායකවරයා ඇතුළු පාර්ශව කිහිපයකට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කරන්නේ නම් සිය තනතුරුවල වැඩි කාලයක් සේවය කිරීමට කැමැත්තක් දක්වන රාජ්‍ය සේවකයින්ට ද එම අයිතිය ලබාදෙන ලෙස ඉල්ලමින් ජාතික වෘත්තිය සහ සිවිල් පෙරමුණ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඊයේ ලිපියක් භාරදුන්නා.
Related recommendation
Hiru TV News | Programmes