General14 July 2026

එයාර් බස් ගනුදෙනු නඩුව ඔක්තෝබර් 13 වැනිදා තෙක් කල් තැබෙයි

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාල නඩුව ලබන ඔක්තෝම්බර් මස 13 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (14) නියම කළා.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ සිද්ධිය අද (14) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී.

මෙහි විමර්ශන ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරි දින අධිකරණය හමුවේ ඉදිරිපත් කරන බව මෙහිදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.

මෙහි සැකකරුවකුව සිටි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මේ විට මියගොස් ඇති බව වාර්තා කෙරුණා.

සිද්ධිය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ නිතීඥ උදාර මුහන්දිරම් සඳහන් කළේ, මෙම සිද්ධියට අදාල නිමල් පෙරේරා නමැත්තා වෙනුවෙන් තමන් අධිකරණයේ පෙනී සිටින බවයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේ එම තැනැත්තා තවමත් සැකකරුවෙකු ලෙස අල්ලස් කොමිසම මඟින් නම් කර නොමැති බවයි.

සිද්ධියට අදාල සැකකාරියක් වන ප්‍රියංකා නයෝමාලි වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ හර්ෂණ මාතරආරච්චි සඳහන් කළේ, ඇය විදේශ රටක පදිංචිව සිටින බැවින් රතු වරෙන්තු නිකුත් කිරීම පිළිගත නොහැකි බවයි.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සිද්ධියට අදාල නඩුවේ වැඩිදුර ප්‍රගතිය ලබන ඔක්තෝබර් මස 13 වන දින අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියම කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.
Related recommendation
Hiru TV News | Programmes