General14 July 2026

ඔන්ලයින් බිස්නස්වලට කියා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

අන්තර්ජාල ව්‍යාපාරයක් සඳහා ඇරඹූ බැංකු ගිණුමකට මුදල් බැර කරවා ගනිමින් සිදු කරන ලද රුපියල් ලක්ෂ අටකට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් ඊයේ (12) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන අංශය පවසනවා.

මෙම වංචාව සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබූ බවත්, අන්තර්ජාල ව්‍යාපාරයක් ඇරඹීමට යැයි කියා සැකකරු පැමිණිලිකරුගෙන් රුපියල් එක් කෝටි විසිහතර ලක්ෂ පනස්දෙදහස් දෙසීය අසූවක මුදලක් බැර කරවාගෙන ඇති බවත් පොලිසිය පවසනවා.

සැකකරු එම මුදලින් රුපියල් 824,004/= ක (අටලක්ෂ විසිහතරදහස් හතරක) මුදලක් වංචා කර ඇති බවට හෙළිවූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තවලන්තැන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක් වන පුද්ගලයෙක්.

සැකකරු අද (14) ගල්ගමුව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන අංශය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes