General14 July 2026

37 වන කනිෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතාවලිය සාර්ථකව නිමවෙයි - මනුත් සහ ඉෆ්රා ප්‍රධාන ශූරතා දිනාගනිති

ශ්‍රී ලංකා ස්කොෂ් (SLS) සංගමය මෙහෙයවූ 37 වන ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතාවලිය පසුගිය ජූලි 12 වනදා රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් සංකීරණයේදී සාර්ථකව නිමාවට පත් වුණා

දිවයිනේ දක්ෂතම තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් වයස් කාණ්ඩ කිහිපයක් යටතේ මෙහිදී තරග වැදුණා.

මෙවර තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූ අතර ඒ අනුව, අවුරුදු 17න් පහළ සහ 19න් පහළ පිරිමි ශූරතා දෙකම තමන් සතු කරගත් ගේට්වේ විද්‍යාලයේ මනුත් සන්දිර දසනායක 2026 කනිෂ්ඨ ජාතික පිරිමි ශූරයා ලෙස අභිෂේක ලැබුවා.

එමෙන්ම, අවුරුදු 17න් පහළ සහ 19න් පහළ බාලිකා ශූරතා දෙකම ජයග්‍රහණය කළ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ඉෆ්රා ශස්මින් බූසෝ 2026 කනිෂ්ඨ ජාතික බාලිකා ශූරිය ලෙස කිරුළු පැළඳුවා.

කොළඹ ගේට්වේ විද්‍යාලයේ සිතුම්ලි රුහංසා මෙන්ඩිස් 2026 වසරේ Most Promising Junior Girls' Player ලෙස ‘වින්ග් කමාන්ඩර් නොයෙල් ප්‍රනාන්දු අභියෝග පළිහ’ දිනාගන්නා විට, රාජකීය විද්‍යාලයේ නෙවන් රුබසිංහ 2026 වසරේ Most Promising Junior Boys' Player ලෙස ‘එයාර් මාර්ෂල් වී.බී. සොයිසා අභියෝග පළිහ’ තමන් සතු කරගත්තා.

සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස UB Finance PLC හි මූල්‍ය ප්‍රධානී අසංක ගල්බඩ ආරච්චි සහභාගී වූ අතර ශ්‍රී ලංකා ස්කොෂ්හි හිටපු සභාපති ධම්මික විජේසුන්දර , UB Finance PLC හි අලෙවි අංශ ප්‍රධානී චින්තක ගමගේ , ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයේ සභාපති, ගෘෘප් කැප්ටන් එරන්ද ගීගනගේ ලේකම් එරංග අල්විස් මහතා, විධායක කමිටු සාමාජිකයින් සහ දෙමව්පියන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
Related recommendation
Hiru TV News | Programmes