General15 July 2026

මීගමුව බන්ධනාගාර ඛේදවාචකය: “ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය” සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ දරුණු ගැටුම්කාරී තත්ත්වය සහ රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරවලට ප්‍රවාහනය කිරීමේදී සිදු වූ මරණ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරමින් “ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය” විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සමස්ත ජාතියේම හෘද සාක්ෂිය කම්පා කරවන මෙම ඛේදවාචකය පිළිබඳව පූර්ණ, සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව එම නිවේදනය මඟින් අවධාරණය කෙරෙනවා.

ජූලි මස 5 වැනිදා ආරම්භ වූ ප්‍රචණ්ඩත්වය එදින සවස් වන විට පාලනය කර තිබුණද, ගැටුමට සම්බන්ධ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් එකිනෙකාගෙන් වෙන් කිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර නොගැනීම හේතුවෙන් තත්ත්වය තවදුරටත් උත්සන්න වූ බවයි එම නිවේදනය තුළ ඔවුන් දක්වන්නේ.

එමෙන්ම ජූලි මස 6 වැනිදා උදෑසන රැඳවියන් ආහාර ගනිමින් සිටි අවස්ථාවක බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ඔවුන් වෙත යොමු කර ඇති බවත් මෙය රැඳවියන් කුපිත කරවීමට ගත් පියවරයක් බඳු බවයි ඔවුන් පවසන්නේ.

ගැටුම පාලනය කිරීමට වඩාත් අවම බලයක් භාවිත කිරීමට හැකියාව තිබියදී, බන්ධනාගාර ආරක්ෂක නිලධාරියෙකු දොරක සිදුරක් තුළින් ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි තැබීම සාධාරණීකරණය කරන්නේ කෙසේදැයි එම නිවේදනය මඟින් ප්‍රශ්නකර සිටිනවා.

මිනිස් ජීවිත රැසක් අහිමි වෙමින් මෙවැනි දරුණු සිදුවීම් මාලාවක් රට තුළ සිදුවෙද්දී, විෂය භාර අධිකරණ අමාත්‍යවරයා මීගමුව බන්ධනාගාරය වෙත පැමිණීමට හෝ අදාළ හදිසි රැස්වීම්වලට සහභාගී නොවීම අතිශය කණගාටුවට කරුණක් බවයි එම ලිපිය මඟින් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය වැඩිදුරටත් පවසා සිටිනවා.


Related recommendation
Hiru TV News | Programmes