General15 July 2026

මහා භාණ්ඩාගාර වංචා සිද්ධියට අදාලව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ඊමේල් දත්ත පිටපත් කොළඹ විශ්වවිද්‍යාලයට දෙන්න: ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නියෝග

ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක රජයේ මුදල් වංචනික ලෙස බැහැර කිරීමේ සිද්ධියට අදාලව, රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඊමේල් දත්ත පද්ධතියේ පිටපත් කොළඹ විශ්වවිද්‍යාලය ප්‍රධානත්වයෙන් පත්කර තිබෙන තාක්ෂණික කමිටුව වෙත ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (15) ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නියෝග කළා.

මෙම වංචනික සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතු එම දත්ත පිටපත් ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ගොනු කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශනයට අදාලව සොයාගනු ලැබූ ටෙරා බයිට් 16 ක පරිගණක දත්ත අඩංගු දෘඪතැටි වැඩිදුර විමර්ශන සඳහා කොළඹ විශ්ව විද්‍යාලය වෙත යොමු කර ඇති බව පෙර නඩු දිනයේ දී අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව මෙම විමර්ශනයට අදාලව රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඊමේල් දත්ත පද්ධතියේ පිටපත් කොළඹ විශ්වවිද්‍යාලය ප්‍රධානත්වයෙන් පත්කළ තිබෙන තාක්ෂණික කමිටුවට ලබා දෙන ලෙසයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට මෝෂමක් ගොනු කරමින් කරුණු දක්වමින් කියා සිටියේ, අදාල මහා පරිමාණ මුදල් වංචාව පිළිබඳව සිදු කෙරෙන පුළුල් විමර්ශන කටයුතු සඳහා රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඊමේල් දත්ත පද්ධතියට අදාළ දත්ත පිටපත් මෙලෙස තාක්ෂණික කමිටුව වෙත ලබා දීමට නියෝගයක් නිකුත් කිරීම අත්‍යවශ්‍ය වන බවයි.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා, විමර්ශන කටයුතු සඳහා අදාළ දත්ත පිටපත් තාක්ෂණික කමිටුව වෙත ලබා දීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙත නියෝග නිකුත් කිරීමට පියවර ගනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes