General15 July 2026

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය වසා දැමීමට තීරණය කළා අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය වසා දැමීමට තීරණය කර තිබෙන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත පවසනවා.

රාජ්‍ය ආයතන යළි කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම තීරණය ගෙන තිබෙන බවද ඔහු පැවසුවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල සේවයේ නියුතු සමෘද්ධි නිලධාරීන් ප්‍රජා සවිබල ගැන්වීම පිළිබඳව දැනුවත් කිරීම නිමිත්තෙන් මහනුවර සහස් උයන පරිශ්‍රයේදී අද (15) පැවැති උත්සවයේදීය.

එක් එක් කාලවල පැන නැගුණු අවශ්‍යතා අනුව යම් යම් ආයතන ආරම්භ කර තිබෙන බවත් අදාල අවශ්‍යතා සම්පූර්ණ වූ පසුද ඒවා පවත්වාගෙන යෑම රටට විශාල බරක් වී තිබෙන බවත් ඇමැතිවරයා මෙහිදී පැවසුවා.

මේ හේතුවෙන් අදට ගැලපෙන ලෙස රාජ්‍ය ආයතන නැවත කළමනාකරණය කිරීම යටතේ ඇතැම් ආයතන වසා දැමීමටත් තවත් ඒ්වා ඒ්කාබද්ධ කර පවත්වාගෙන යෑමටත් තීරණය කර ඇති බවද හෙතෙම සඳහන් කළා.

යල් පැන ගිය රටට බරක් වූ රාජ්‍ය ආයතන වසා දැමුවත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වැනි රටට වැඩක් කළ හැකි ආයතන තව දුරටත් පවත්වාගෙන යන්නේ යැයිද ඇමැතිවරයා පැවසුවා.

ජාතික ජනබලවේගය බලයට පැමිණෙන විට රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 24250.00 ක තිබූ නමුත් අද වනවිට එය රුපියල් 40000.00 ක් දක්වා ඉහළ නන්වා තිබෙන බවත් එවැනි වැටුප් වැඩි කිරීමක් කළේ රජයේ සේවකයින් වෙතින් ඒ් සඳහා කිසිදු ඉල්ලීමක් නොතිබුණු අවස්ථාවක බවත් ඔහු සඳහන් කළා.

බලයට පැමිණ ඉදිරිපත් කළ පළමු අයවැයෙන්ම වැටුප් වැඩි කිරීම සිදු කළ බවත් රාජ්‍ය සේවය තුළ අතිරික්තයක් පවතින බව පැවසුවත් ඇතැම් අත්‍යවශ්‍යය සේවාවල බරපතල සේවක හිඟයක් පවතින බවත් කී ඇමැතිවරයා මේ වනවිට එම පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සිදු කරන බවද අවධාරණය කළා.

මහජනතාවගෙන් වැටුප් ලබන කිසිවකුත් රාජ්‍ය සේවයේ නොමැති බවත් ඔවුන් වැටුපක් ලබන්නේ වගුරන ශ්‍රමය සඳහා බවත් ලාල්කාන්ත ඇමැතිවරයා සඳහන් කළා.

සියලු දෙනා ආර්ථික ක්‍රියාවලිවයට දායක කර ගනිමින් ඔවුන්ගේ ශ්‍රමයට සරිලන ආර්ථික පංගුව ලබාදීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවද ඔහු පැවසුවා.

ග්‍රාමීය සංවර්ධන මා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිල ද මෙම අවස්ථාවට සහභාගි වුණා.
Related recommendation
Hiru TV News | Programmes