International16 July 2026

කලාපීය තෙල් අපනයනය තවදුරටත් අත්හිටුවන බවට ඉරානය අනතුරු අඟවයි

තමන් අමෙරිකාව සමග "පැවැත්ම උදෙසා වන යුද්ධයක" නිරතව සිටින බව පවසමින්, කලාපීය බලශක්ති අපනයන තවදුරටත් අත්හිටුවන බවට ඉරානය අනතුරු අඟවා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මෙවන් පසුබිමක ලෝක වෙළෙඳපො‍ළේ බොර තෙල් මිල ද තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 85.29ක් ලෙස ද ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 80.04ක් ලෙසද සටහන් වුණා.

මේ අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ටෙහෙරානයට 'පරිස්සමෙන් කටයුතු කරන ලෙස' අනතුරු ඇඟවීමත් සමග, තමන් ඉරානයට එරෙහිව ඊයේ නව ප්‍රහාර මාලාවක් දියත් කළ බව අමෙරිකාව පවසනවා.

එහිදී හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන 'නෞකාවලට තර්ජනයක් වන ඉරාන හමුදා හැකියාවන්' ඉලක්ක කර ගත් බවත්, ඉරානයේ වරායන් වෙත පනවා ඇති, යළි අලුත් කළ අවහිරතාව උල්ලංඝනය කිරීමට උත්සාහ කළ නෞකාවකට වෙනම වෙඩි තැබූ බවත් අමෙරිකානු හමුදාව සඳහන් කර තිබෙනවා.

මැදපෙරදිග යුද ගැටුම් පස්වන දිනටත් අද ක්‍රියාත්මක වන මොහොතක, බහරේනය සහ කුවේට් ඇතුළු කලාපයේ අමෙරිකානු හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරානය ප්‍රකාශ කිරීමෙන් පසු මෙම සිදුවීම් මාලාව වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මේ අතර, ඉරානයේ වරායන් වෙත නාවික අවහිරතා පැනවීමෙන් පසු, ඊයේ අමෙරිකාව විසින් ඉරානයේ වෙරළබඩ ආරක්ෂක පද්ධති සහ මිසයිල මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes