General16 July 2026

කුලී රථ ගමනක් යන බව කියා නිවෙසින් ගිය තරුණ දෙදරු පියාගේ නිසල සිරුර ඇළක

හෝමාගම, පිටිපන, ගලගාහේන ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී ඝාතනය කරන ලදැයි සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (16) අලුයම සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසනවා.

ගලගාහේන ප්‍රදේශයේ ඇළ මාර්ගය අසල පිහිටි වෙන්දේසි ඉඩමක සිට මීටර් 45ක පමණ දුරකින් පිහිටි ඇළ මාර්ගයක තිබී මෙම සිරුර හමුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම වෙන්දේසි ඉඩම තුළ තිබී මියගිය පුද්ගලයාගේ බවට සැක කෙරෙන පාවහන් යුගලක් සහ රුපියල් 20ක මුදල් නෝට්ටුවක් පොලිසිය විසින් සොයාගෙන තිබුණා.

මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම, පිටිපන, කදනවත්ත, සමගි මාවතේ පදිංචි දෙදරු පියෙක් බවට හඳුනාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඇඟලුම් ආයතනයක සේවය කරන මෙම මරණකරු, ඊයේ (15) රාත්‍රී 7ට පමණ යතුරුපැදියකින් කුලී ගමනක් සඳහා පුද්ගලයෙකු ප්‍රවාහනය කිරීමට ඔහුගේ නිවෙසින් පිටත්ව ගොස් තිබූ බවට අනාවරණය වන බව පොලිසිය පවසනවා.

පසුව මෙම පුද්ගලයා අතුරුදන් බවට අද (16) පෙරවරුවේ මීගොඩ පොලිසියට ද පැමිණිල්ලක් ද ලැබී තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

මළ සිරුර ඇළ මාර්ගයේ තිබීම හේතුවෙන් සතුන් විසින් මුහුණේ කොටස් කා දැමීමෙන් එය හඳුනා ගැනීමට නොහැකි වන අයුරින් විකෘති වී ඇති බව ද හෙළිවුණා.

හෝමාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
Related recommendation
Hiru TV News | Programmes