General16 July 2026

පාකිස්ථාන පාලනයේ පවතින කාශ්මීරයේ ගැටුම් - නව දෙනෙකු ජීවිතක්ෂයට

පාකිස්ථාන පාලනය යටතේ පවතින කාශ්මීර කලාපයේ, තහනම් කරන ලද විරෝධතා කණ්ඩායමක සාමාජිකයින් සහ ආරක්ෂක අංශ අතර සිදු වූ ගැටුම්වලින් පුද්ගලයන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නිලධාරීහු පවසනවා.

මෙම ගැටුම හටගෙන ඇත්තේ, මෙම මස අගදී පැවැත්වීමට නියමිත ප්‍රාදේශීය මැතිවරණයට අදාළ මතභේදාත්මක මැතිවරණ ක්‍රමවේදයට එරෙහිව විරෝධතාකරුවන් විසින් සංවිධානය කර තිබූ පාගමනකට දිනකට පෙරයි.

මෙම ප්‍රචණ්ඩකාරී තත්ත්වයට මූලික හේතුව වී ඇත්තේ පාකිස්ථානයේ වෙනත් ප්‍රදේශවල ජීවත් වන සරණාගතයින් වෙනුවෙන් ප්‍රාදේශීය සභාවේ වෙන් කර ඇති ආසන 12ක් පිළිබඳ පවතින මතභේදයක්.

විරෝධතාකරුවන් පවසන්නේ මෙම ක්‍රමය මඟින් ප්‍රාදේශීය නියෝජනය අඩපණ වන බවයි.

පුන්ච් ප්‍රාදේශීය කොමසාරිස් වහීඩ් ඛාන් ප්‍රකාශ කළේ, විරෝධතාකරුවන් විසින් ආරක්ෂක රථ පෙළක් අවහිර කරමින් පුන්ච් කලාපයේදී නිලධාරීන්ට ප්‍රහාර එල්ල කළ බවයි.

"පොලිසිය සහ ආරක්ෂක නිලධාරීන් ප්‍රතිප්‍රහාර එල්ල කළේ තමන්ගේ ආත්මාරක්ෂාව සඳහායි," ඔහු රොයිටර් පුවත් සේවයට පවසා තිබෙනවා.

තාරර්ඛාල් ප්‍රදේශයේදී සිදු වූ ගැටුම්වලින් විරෝධතාකරුවන් හය දෙනෙකු සහ එක් පොලිස් නිලධාරියෙකු මියගොස් ඇති අතර, රාවලාකොට් හි සිදු වූ තවත් වෙනම ගැටුමකින් විරෝධතාකරුවෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පසුගිය ජුනි මාසයේදී තහනමට ලක් වූ 'ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුව' (JAAC) විසින් රාවලාකොට් බලා පාගමනක් යාමට කැඳවුම් කර තිබුණා.

ඛාන් පැවසුවේ විරෝධතාකරුවන්ට නගරයට ඇතුළු වීම වැළැක්වීම සඳහා ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති බවයි.

ප්‍රාදේශීය වාර්තාවලට අනුව, පසුගිය ජුනි මාසයේ සිට මේ දක්වා පැවති නොසන්සුන්කාරී තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes