General10 August 2026

මරණීය දණ්ඩනය නියමව සැඟවී සිටින අයෙක් පොලිසියෙන් සොයයි

මීගමුව මහාධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම වූ මනුෂ්‍ය ඝාතන අපරාධයක චූදිතයකු අත්අඩංගුවට ගැනීමට මහජන සහාය අවශ්‍ය වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.

රාගම පොලිස් වසමේ, වල්පොළ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට ඉකුත් 2019 වසරේදී පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, මීගමුව මහාධිකරණය මඟින් මෙම චූදිතයාට මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

මෙම චූදිත අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව නඩුව විභාගයට ගෙන දඬුවම් නියම කර ඇති අතර, මේ වන විට ඔහු ප්‍රදේශය මගහැර සිටින බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම වී මෙලෙස සැඟවී ඇත්තේ උග්ගස්දෙන, වල්පොල, රාගම පදිංචි වයස අවුරුදු 38ක් වන රණේපුර දේවගේ රනුක එරන්ද විජේතුංග නමැත්තා බව පොලිසිය පවසනවා.

මෙම චූදිතයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත්, වහාම පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

• ස්ථානාධිපති, රාගම පොලිස් ස්ථානය: 071 8591604
• ස්ථානාධිපති, අපරාධ අංශය: 071 9627561
Related recommendation
Hiru TV News | Programmes