General13 August 2026

බැකෝ සමන්ගේ මවට තැබූ වෙඩිල්ල ගැන තවත් තොරතුරු එළියට

මිද්දෙණිය - උලහිටියාව ප්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන බැකෝ සමන්ගේ මව ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට තවත් කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව, ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීම සදහා ආධාර අනුබල දීම යටතේ අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඉෂාරා සෙව්වන්දිට අදාල ඝාතනයෙන් පසු නවාතැන් පහසුකම් සපයා ඇත්තේ බැකෝ සමන්ගේ මව විසින් බවටයි හෙළි වී ඇත්තේ.

ඉෂාරා සෙව්වන්දිට රටින් පලාගොස් යාම සදහා යාපනය දක්වා ගමන් පහසුකම් ලබා දී ඇත්තේ ද බැකෝ සමන් වන අතර, ඒ හේතුවෙන් ඔහුගේ මවට ගනේමුල්ල සංජීවගේ හිතවාදී පාර්ශ්වයන් වන කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වයෙන් මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.‍

ගනේමුල්ල සංජීව ඝාතනයෙන් පසු ඉෂාරා සෙව්වන්දි මතුගමත්, මාතරත්, වවුනියාවේත් රැදී සිටි ඇති බව වාර්තා වූ අතර, පසුව ඇය යාපනය ප්‍රදේශයෙන් බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පැනගොස් තිබුණා.

මේ අතර, මෙම ඝාතනය සදහා වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරු පැදිය මාතර - ඌරුබොක්ක ප්‍රදේශයේ තේ වත්තක දමා ගොස් තිබියදී අද (13) උදෑසන පොලිසිය සොයාගත්තා.

ඒ අනුව, ඇගිලි සලකුණු සටහන් කරගැනීමේ නිලධාරීන් සහ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මිද්දෙණිය - උලහිටියාව ප්‍රදේශයේ නිවස ඉදිරිපිට රැඳීසිටි බැකෝ සමන්ගේ මව ඉලක්ක කර මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් ඊයේ පස්වරුවේ ‍මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ සමග ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එනු ලැබූ බැකෝ සමන් නමැත්තා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

එමෙන්ම අරුණ විදානගමගේ හෙවත් මිද්දෙණියේ කජ්ජා සහ දරු දෙදෙනා ඝාතනය කිරීමේ සිදුවීමට චෝදනා එල්ල කරන්නේද බැකෝ සමන් නමැත්තාටයි.

එමෙන්ම මීට පෙර මිද්දෙණිය, ජුලම්පිටිය ප්‍රදේශයේ පිහිටි බැකෝ සමන් ඇතුළු පිරිස සමග අත්අඩංගුවට ගත්, තැඹිලි ළහිරුගේ නිවසටද පසුගිය මස 08 වැනිදා යම් කිසි පිරිසක් විසින් ගිනි තබා තිබුණා.

නිවසට ගිනි තැබූ අවස්ථාවේ දී තැඹිලි ළහිරුගේ මව සිට ඇති අතර, ගින්නෙන් ඇයට කිසිදු හානියක් සිදුව නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes