General16 August 2026

හම්බන්තොට යන බව පවසා පිටත්වූ විදෙස් සංචාරකයාගේ මළ සිරුර තිහගොඩ පන්සලක

මාතර තිහගොඩ, පලොල්පිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක උඩ මළුවේ පිහිටි කොහොඹ ගසක එල්ලෙමින් තිබූ විදේශීය ජාතිකයෙකුගේ මළ සිරුරක් අද (16) පස්වරුවේ සොයාගත් බව තිහගොඩ පොලිසිය පවසනවා.

එහිදී, ආගමික කටයුතු සඳහා විහාරස්ථානයට පැමිණි පිරිසක් විසින් පුද්ගලයෙකු ගසක එල්ලෙමින් තිබෙන අයුරු දැක පොලිසිය දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව, එම ස්ථානයට පැමිණි පොලිසිය විසින් මළ සිරුර තිබූ ස්ථානයට ආසන්නයේ තිබී පාවහන් යුගලක්, යතුරුපැදි හිස්වැසුමක් (Helmet) සහ ස්කූටි (Scooty) වර්ගයේ යතුරුපැදියක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

අදාළ යතුරුපැදි අංකය ඔස්සේ සිදුකළ පරීක්ෂණවලදී, එය වැලිගම ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබාගෙන ඇති බවත්, මියගොස් ඇත්තේ 54 හැවිරිදි වියේ පසුවන ස්කොට්ලන්ත ජාතිකයෙකු බවයි.

මෙම විදේශිකයා වැලිගම, මිදිගම ගුරුබැබිල ප්‍රදේශයේ සංචාරක නිකේතනයක ලැගුම්ගෙන සිට ඇති අතර, අද උදෑසන හම්බන්තොට ප්‍රදේශයට යන බව පවසා එම නිකේතනයෙන් පිටත්ව ගොස් තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් තිහගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes