Business02 May 2026

යුරෝපා සංගමයේ මෝටර් රථ සඳහා 25%ක් දක්වා බදු ඉහළ නැංවීමට ට්‍රම්ප් සැරසෙයි

යුරෝපා සංගමයෙන් ආනයනය කරනු ලබන මෝටර් රථ සහ ට්‍රක් රථ සඳහා අය කරන බදු සියයට 25ක් දක්වා ඉහළ නැංවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

"ලබන සතියේ සිට යුරෝපා සංගමයේ මෝටර් රථ සහ ට්‍රක් රථ සඳහා අය කරන බදු වැඩි කරන බව මම සතුටින් ප්‍රකාශ කරමි," යනුවෙන් ට්‍රම්ප් පවසා තිබෙනවා.

මීට ප්‍රතිචාර දක්වමින් යුරෝපීය කොමිසම ප්‍රකාශ කළේ, "යුරෝපා සංගමයේ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා අපගේ විකල්ප විවෘතව තබන" බවයි.

යුරෝපා සංගමය සිය පොරොන්දු ඉටු කරමින් සිටින නමුත්, අමෙරිකාව ලබා දුන් පොරොන්දු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අපේක්ෂා කරන බවද කොමිසම වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

යුරෝපයේ ආර්ථිකයෙන් සැලකිය යුතු කොටසක් මෝටර් රථ නිෂ්පාදනය මත රඳා පවතින බැවින්, ට්‍රම්ප් මෝටර් රථ ක්ෂේත්‍රය ඉලක්ක කිරීම ඉතා සංවේදී පියවරක් බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මෙම පියවර ගෙන ඇත්තේ ස්කොට්ලන්තයේ ට්‍රම්ප්ට අයත් ටර්න්බෙරි (Tuberry) ගොල්ෆ් පිටියේදී යුරෝපා සංගමය සහ අමෙරිකාව අතර ගිවිසුමකට එළඹී වසරකටත් අඩු කාලයකදීයි.

එම ගිවිසුම මගින් බොහෝ යුරෝපීය භාණ්ඩ සඳහා වන බද්ද සියයට 15ක් ලෙස නියම කර තිබුණා.

එමගින්, ට්‍රම්ප්ගේ Liberation Day බදු යටතේ පැනවීමට තිබූ සියයට 30ක බද්දෙන් යුරෝපා සංගමයට සහනයක් ලැබී තිබුණා.

ඒ වෙනුවට යුරෝපය අමෙරිකාවේ ආයෝජනය කිරීමටත්, අමෙරිකානු අපනයන ඉහළ නැංවීමට අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමටත් එකඟ වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, ඩෙන්මාර්කයට අයත් ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමට ජනාධිපති ට්‍රම්ප් කළ තර්ජන හේතුවෙන් පසුගිය මාසවලදී ආතතීන් වර්ධනය වී තිබෙනවා.

මේ හේතුවෙන් පසුගිය ජනවාරි මාසයේදී යුරෝපීය පාර්ලිමේන්තුව මෙම වෙළෙඳ ගිවිසුම අනුමත කිරීම තාවකාලිකව නතර කර ඇති බවටයි සඳහන් වෙන්නේ.

කෙසේ නමුත්, මාර්තු මාසයේදී යුරෝපීය පාර්ලිමේන්තුව විසින් මෙම ගිවිසුම අනුමත කරන ලද නමුත්, ඒ සඳහා විශේෂ කොන්දේසියක් ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව, ට්‍රම්ප් පරිපාලනය ගිවිසුමේ අරමුණු කඩාකප්පල් කරන්නේ නම්, යුරෝපා සංගමයේ ව්‍යාපාරිකයන්ට වෙනස්කම් කරන්නේ නම් හෝ සාමාජික රටවල භූමියට, විදේශ හා ආරක්ෂක ප්‍රතිපත්තිවලට තර්ජනයක් වන්නේ නම් මෙම ගිවිසුම අත්හිටුවීමටයි යුරෝපා සංගමයට හැකියාව ලැබෙන්නේ.

එතැන් පටන් වානේ සහ ඇලුමිනියම් සම්බන්ධ ආරවුලක් හේතුවෙන් සාකච්ඡා යළිත් ඇණහිට තිබෙනවා.

ජර්මනිය සහ ප්‍රංශය වැනි ප්‍රධාන යුරෝපීය රටවල්, භාණ්ඩ රැසක බදු සංශෝධනය කිරීමට අමෙරිකාව ඉදිරිපත් කළ සැලසුම් ප්‍රතික්ෂේප කර තිබුණා.

යුරෝපීය කොමිසම සිය ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ, තමන් සම්මත ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට අනුකූලව ගිවිසුම ක්‍රියාත්මක කරන බවත්, ඒ පිළිබඳව අමෙරිකානු පරිපාලනය නිරන්තරයෙන් දැනුවත් කරන බවත්.

තමන්ගේ පාර්ශ්වයෙන් ගිවිසුම කඩ කළේ කෙසේදැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට ට්‍රම්ප් වැඩිදුර විස්තර ලබා දී නොමැති නමුත්, ඔහු පැවසුවේ "අපට යුරෝපා සංගමය සමග වෙළෙඳ ගිවිසුමක් තිබෙනවා. ඔවුන් එයට එකඟව කටයුතු කළේ නැහැ. ඒ නිසා මම මෝටර් රථ සහ ට්‍රක් රථ සඳහා බදු වැඩි කළා." යනුවෙන්.

මෙම බදු වැඩි කිරීම ප්‍රකාශයට පත් කරමින් ට්‍රම්ප් යුරෝපීය මෝටර් රථ නිෂ්පාදකයින්ගෙන් ඉල්ලා සිටියේ සිය නිෂ්පාදන අමෙරිකාව තුළට ගෙන එන ලෙසයි.

-BBC-
Related recommendation
Hiru TV News | Programmes