Entertainment12 June 2026

ඉලොන් මස්ක් ලොව පළමු ඩොලර් ට්‍රිලියනයපතියා වෙයි

ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට අමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක වත්කම් සතු එකම පුද්ගලයා බවට පත්වෙමින් ඓතිහාසික වාර්තාවක් තැබීමට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ඉලොන් මස්ක් (Elon Musk) සමත්ව තිබෙනවා.

ඔහුට අයත් ප්‍රධානතම අභ්‍යවකාශ සහ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණ සමාගමක් වන 'SpaceX' සමාගම නිල වශයෙන් වෝල් ස්ට්‍රීට් (Wall Street) කොටස් වෙළඳපොළ වෙත පිවිසීමත් සමඟ ඉලොන් මස්ක් මෙලෙස ලොව පළමු ට්‍රිලියනපතියා ලෙස ඉතිහාසගත වන බව ඒ අනුව, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට (Bloomberg Billionaires Index) අනුව මෙම කොටස් නිකුතුවට පෙර ද ලොව ප්‍රථම ධනවතා ලෙස පසු වූ මස්ක් සතු වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 696ක් පමණ වූ අතර, නව කොටස් වෙළඳපොළ ක්‍රියාවලියත් සමඟ ඔහුගේ ධනය මින් පෙර කිසිවෙකු ළඟා නොවූ සීමාවක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

'SpaceX' සමාගම අමෙරිකානු නස්ඩැක් (Nasdaq) කොටස් වෙළඳපොළ වෙත මූලික මහජන කොටස් නිකුතුවක් (IPO) ලෙස ඉදිරිපත් කර ඇත්තේ අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.77ක දැවැන්ත වටිනාකමකට යටත් වෙමින්.

එහිදී සමාගමේ එක් කොටසක් ඩොලර් 135 බැගින් කොටස් මිලියන 555.6ක් විකිණීමට කටයුතු යොදා ඇති අතර, මෙම සමාගම තුළ ඉලොන් මස්ක් සතු කොටස් ප්‍රතිශතය සියයට 42ක් පමණ වෙනවා.

ඒ අනුව, මෙම නව කොටස් නිකුතුව හරහා පමණක් මස්ක් සතු වත්කම්වලට තවත් ඩොලර් බිලියන 743ත් 866.5ත් අතර අතිරේක වටිනාකමක් එකතු වන බැවින්, කොටස් වෙළඳපොළ කටයුතු අවසන් වීමට පෙර ඔහු නිල වශයෙන්ම ට්‍රිලියනපතියෙකු ලෙස සිය සාර්ථකත්වය සනිටුහන් කරනු ඇති.

අමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක් යනු මිනිස් මනසට සිතාගත නොහැකි තරම් අතිදැවැන්ත මුදල් කන්දරාවක් වන අතර, බ්‍රිතාන්‍යයේ 'ඔක්ස්ෆෑම්' (Oxfam) සංවිධානය පෙන්වා දෙන්නේ යමෙකු දිනකට ඩොලර් මිලියනය බැගින් වියදම් කළද, ඩොලර් ට්‍රිලියනයක් සම්පූර්ණයෙන්ම වියදම් කර අවසන් කිරීමට වසර 2,740ක් වැනි දීර්ඝ කාලයක් ගතවන බවයි.

දැනට ලොව දෙවැනි ධනවතා වන ගූගල් සමාගමේ සම-නිර්මාතෘ ලැරී පේජ් (වත්කම ඩොලර් බිලියන 304) මෙන් තුන් ගුණයකට වඩා වැඩි වත්කමකට දැන් ඉලොන් මස්ක් හිමිකම් කියයි.

ආර්ථික ඉතිහාසඥයින් පවසන පරිදි, 19 වැනි සහ 20 වැනි සියවස්වල ඇමරිකාවේ කාර්මික යුගය බිහි කළ ජෝන් ඩී. රොකෆෙලර් (ඇමරිකානු දේපළවලින් 1.5%) හෝ ඇන්ඩෲ කානගී වැනි මහා ධන කුවේරයන්ට පවා නොතිබූ පරිමාණයේ ධනයක් මස්ක් සතු වන අතර, ඔහුගේ වත්මන් වත්කම සමස්ත ඇමරිකානු දේපළවලින් (US GDP) සියයට 3කට පමණ සමාන වෙනවා.

ඒ අනුව, ඉතිහාසයේ ජීවත් වූ රජවරුන් සහ අධිරාජ්‍යයන් හැරුණු විට ලොව බිහිවූ සුවිශේෂීම සහ වැඩිම වත්කම්ලාභී පුද්ගලයා ලෙස ඉලොන් මස්ක් සැලකිය හැකි බව ආර්ථික විද්‍යා මහාචාර්යවරු පෙන්වා දෙනවා.

කෙසේ වුවද, අතීතයේ සිටි ධන කුවේරයන් මෙන්ම ඉලොන් මස්ක් ද වත්මන් සමාජය තුළ දැඩි කතාබහට සහ විවේචනයට ලක්වන චරිතයක්.

විශේෂයෙන්ම ඇමරිකානු දේශපාලනයට සෘජුවම මැදිහත් වෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට දැවැන්ත සහයෝගයක් ලබා දුන් ඔහු, වත්මන් රජයේ රාජ්‍ය වියදම් සහ වංචා කප්පාදු කිරීමේ කමිටුවල ද ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි.

එසේම, 2022 වසරේදී ට්විටර් (වත්මන් X) සමාජ මාධ්‍ය ජාලය මිලදී ගැනීමෙන් පසු විවිධ දේශපාලන මතවාද ප්‍රසිද්ධ කිරීමට එය පෞද්ගලික මෙවලමක් ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වෙනවා.

මීට අමතරව, අතීතයේ සිටි බිලියනපතියන් සිය ධනයෙන් වැඩි ප්‍රමාණයක් පුස්තකාල, රෝහල් සහ විශ්වවිද්‍යාල ඉදිකිරීම වැනි පොදු සුභසාධන කටයුතු සඳහා පරිත්‍යාග කළද, ඉලොන් මස්ක් විසින් සිදුකරන පරිත්‍යාග බොහොමයක් ඔහුගේම ව්‍යාපාරික අරමුණු සමඟ බද්ධ වී ඇති බවට ද විචාරකයින් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, කොටස් වෙළඳපොළේ පවතින උච්චාවචනයන් හමුවේ වත්කම්වල අගයන් ඕනෑම වෙලාවක වෙනස් විය හැකි වුවද, මස්ක් අත්කරගෙන ඇති මෙම මූල්‍ය ජයග්‍රහණය ගෝලීය ආර්ථික ඉතිහාසයේ නොමැකෙන සන්ධිස්ථානයක් වනු ඇති.

මුලාශ්‍රය: Al Jazeera
Related recommendation
Hiru TV News | Programmes