Entertainment12 August 2026

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ජෝර්ජිනා රොඩ්‍රිගස් විවාහ දිවියට

සමාජ මාධ්‍යවල වැඩිම අනුගාමිකයින් පිරිසක් සිටින ක්‍රීඩකයා ලෙස සැලකෙන පෘතුගාල පාපන්දු තරුව වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ඔහුගේ දිගුකාලීන සහකාරිය වන ජෝර්ජිනා රොඩ්‍රිගස් විවාහ වී තිබෙනවා.

ඔවුන්ගේ විවාහ උත්සවය පෘතුගාලයේ කැස්කයිස් ප්‍රදේශයේදී අඟහරුවාදා පැවති බව රොනාල්ඩෝගේ මාධ්‍ය කණ්ඩායම සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වසර 10කට ආසන්න කාලයක් පැවති ඔවුන්ගේ සබඳතාවයෙන් අනතුරුව මෙම විවාහය සිදුව ඇති අතර, විවාහ උත්සවය පැවැත්වෙන ස්ථානය සහ වේලාව සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේදී පෘතුගාල මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව ඇති බව සඳහන්.

41 හැවිරිදි රොනාල්ඩෝ සිය විවාහ මුදු පැළඳ සිටින යුවළගේ අත් දෙකෙහි ඡායාරූපයක් Instagram වෙත එක් කරමින් “C ❤️ G” යන සටහනද පළ කර තිබෙනවා.

විවාහ උත්සවය ඉතා පෞද්ගලික හා සරල උත්සවයක් ලෙස පවත්වා ඇති අතර, මෙම යුවළගේ දරුවන් ද ඊට සහභාගී වී ඇති බව සඳහන්.

32 හැවිරිදි ජෝර්ජිනා රොඩ්‍රිගස් මීට වසරකට පෙර Instagram ඔස්සේ ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම නිවේදනය කර තිබුණා.

රොනාල්ඩෝ සහ ජෝර්ජිනා 2016 වසරේදී මැඩ්රිඩ් නගරයේ වෙළෙඳසලකදී හමුවී තිබෙන අතර, ජෝර්ජිනා පසුව එය “පළමු බැල්මෙන්ම ඇති වූ ආදරයක්” ලෙස විස්තර කර තිබුණා.

මේ වනවිට මෙම යුවළ සමාජ මාධ්‍ය වේදිකා හරහා මිලියන 750කට අධික අනුගාමිකයින් පිරිසකට හිමිකම් කියන අතර, පාපන්දු ක්‍රීඩාවෙන් ඔබ්බට ගිය ලොව ප්‍රකට යුවළක් ලෙසද සැලකෙනවා.
Related recommendation
Hiru TV News | Programmes