Sports29 September 2025

පාකිස්ථාන ක්‍රිකට් පිලට ලැබුණු ත්‍යාග මුදල ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාරයෙන් දිවි පිදූ සහ පීඩාවට පත් වූ ජනතාවට

ආසියානු කුසලාන තරගාවලියෙන් අනුශූරයින් වූ පාකිස්ථානය ලැබූ ත්‍යාග මුදල ඉන්දියාව විසින් පාකිස්ථානයට එල්ල කරන ලද ප්‍රහාරවලින් දිවිපිදූ සහ පීඩාවට පත් ජනතාව ලබා දීමට තීරණය කර තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැළිකතර උණුසුම් කරමින් දින 20 කාලයක් ක්‍රියාත්මක වූ මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ
කූඨප්‍රාප්තියේ කරළිය බවට පත් වුණේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයයි.

පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වෙන කවරදාකටත් වඩා පසමිතුරුකමේ උච්චතම අවස්ථාවේදී මෙවර ආසියානු කුසලානයේ අවසන් තරගයේදී ඉන්දියාවේ ප්‍රතිමල්ලවයින් බවට පාකිස්ථානය පත්වීමත් ධෛයිවෝපතගත් සිදුවීමක් බවට පත් වුණා.

ඒ 41 වසරක ඉතිහාසයකට හිමිකම් කියන ආසියානු කුසලානයේ අවසන් තරගයකදී ඉන්දියාව සහ පාකිස්ථානය තරග වැදුණු පළමු අවස්ථාව සනිටුහන් කරමින්.

දෙරටේ දේශපාලනික විරසකයේ තැටිය උපරිම ලෙස උණුසුම් වූ පසුබිම සිට ඇරඹුණු අවසන් මහා තරගයේදී ද එකිනෙකාට මුණවත් නොබැලු ඉන්දු -
පාකිස්ථාන නායකයින් සුපුරුදු පරිදි අතට අතදීමෙන් ද වැළකී සිටියා.

තීරණාත්මක කාසියේ වාසිය ද ඉන්දීය නායකයාගේ පැත්තට පෙරළි යද්දී ඔහු පළමුව පන්දුවට පහරදීම සඳහා පාකිස්ථානයට ආරාධනා කළා.
මෙම විරසකය හේතුවෙන් ජාත්‍යන්තර රූපවාහිනී විකාශය කරන ආයතනයට කාසියේ වාසිය උරා බැලීමේ අවස්ථාවට නිවේදකයින් දෙදෙනෙකු යොමු කරන්නට සිදු වුණා.

එහිදි ඉන්දීය නායක සූර්යකුමාර් යාදෙව්,ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක රවීශාස්ත්‍රී වෙතත්, පාකිස්ථාන නායක සල්මන් අගා,පාකිස්ථාන හිටපු ක්‍රීඩක වකාර් යූනිස් වෙතත් අදහස් දැක්වීමත් කැපී පෙනුණා.

එවන් වටපිටාවක් තුළ සිට ඇරඹුණු තරගයේදී වේගවත් ආරම්භයක් ගෙන දෙන්නට ෆකර් සමාන් සහ සහිබ්සාඩා ෆර්හාන් සමත්වුණේ පළමු කඩුල්ලට ලකුණු 84ක සබඳතාවක් එක් කරමින්.

සහිබ්සාඩා ෆර්හාන් ලකුණු 57ක් සහ ෆකර් සමාන් ලකුණු 46ක් රැස්කළා.

පාකිස්ථානය එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 113ක් ලබා ප්‍රබල තත්ත්වය පසුවූවත් අනතුරුව පාකිස්ථාන පිතිකරුවන් එකාපිට එකා දැවී ගියේ කිසිවෙකුට ඇඳහිය නොහැකි ලෙසයි.

එහිදී පාකිස්ථාන ඉනිමේ කඩුලු 9ක් ලකුණු 33ක් බිඳ දැමූ ඉන්දීය පන්දු බලඇණිය තරගයේ පාලනය සියතට ගත්තා.

ඒ අනුව පාකිස්ථානයට පන්දුවාර 19යි එක් පන්දුවකදී සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 146ක් පමණයි.

පාකිස්ථාන ඉනිම කඩා බිඳ දැමීමේ පෙරමුණ ගත් කුල්දීප් යාදෙව් සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 30කට කඩුලු 4ක් බිඳ දැමුවා.

මීට අමතරව ජස්ප්‍රිට් බුම්රා,වරුන් චක්‍රවර්ති සහ අක්සාර් පටේල් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

ජයග්‍රහණය සඳහා ලකුණු 147ක ඉලක්කයක් හඹා යන්නට පිටියට පිවිසුණු ඉන්දීය ඉනිමේ මුල් කඩුලු තුන ලකුණු 20ක් තුළ බිඳ දැමු පාකිස්ථාන පන්දු යවන්නන් තරගය ලෙහෙසියන් අත් හරින්නට කැමති වුණේ නැහැ.

අනතුරුව පාකිස්ථානයෙන් සිදු වූ අතපසුවීම්වලින් මෙම තරගයේ හැරවුම් ලක්ෂයේ සබඳතාව සිව්වැනි කඩුල්ලට ලකුණු 57ක් එක් කරමින් ගොඩනැගු තිලක් වර්මා සහ සංජු සැම්සන් ඉන්දීය ජය මාවතේ අඩිතාලම දැමුවා.

සංජු සැම්සන් ලකුණු 24යි.

සැම්සන්ගේ දැවීයාමෙන් පසුව ද ශිවම් ඩුබේ සමග එක් වූ තිලක් වර්මා 5 වැනි කඩුල්ලට ලකුණු 60 එක් කරමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය අභියසටම රැගෙන ආවා.

ශිවම් ඩුබේ ලකුණු 33යි.

ඒ අනුව අවසන් පන්දුවාරයට ඉන්දියාවට ලකුණු 10ක ඉලක්කයක් හිමිවෙද්දී, අවසන් පන්දුවාරයේ සිව්වැනි පන්දුවට හතරේ පහරක් එල්ල කළ රිංකු සිං ඉන්දියාවට අපරාජිතව මෙවර ආසියානු කුසලානය දිනා දුන්නා.

ඒ වන විට ඉන්දීය ලකුණු පුවරුව කිය වී තිබුණේ පන්දුවාර 19යි පන්දු 4කදී කඩුලු 5ක් දැවී ලකුණු 150ක් ලෙසටයි.

ඉන්දියාවට ජය ගෙනා තිලක් වර්මා සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 69ක් රැස්කළා.

ඉන්දියාව ආසියානු කුසලානයක් දිනූ 9 වැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර ඔවුන් 1984,1988,1991,1995,2010,2016,2018 සහ 2023 වසරේදී ආසියානු ශූරයින් ලෙස අභිෂේක ලබා තිබුණා.

අවසන් තරගයේ ජයසංකේත ප්‍රධානය පැවැත්වුණේ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වත්මන් සභාපති වන පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන්.

අවසන් තරගයේ වීරයා ලෙසින් තිලක් වර්මා සම්මාන දිනා ගත් අතර තරගාවලියේ වීරයා බවට පත් වුණේ අභිෂේක් ශර්මායි.

මෙහිදී අනුශූරතාවට හිමි චෙක්පත ලබා ගත් පාකිස්ථාන නායකයා පසුව එය විසිකරමින් එක්වෙද්දී, මොහ්සින් නක්විගේ ආසියානු ක්‍රිකට් කුසලානය ලබා ගැනීම ද සූර්යකුමාර් යාදෙව් ඇතුළු ඉන්දීය කණ්ඩායම ප්‍රතික්ෂේප කර සිටියා.

ඒ අතරවාරයේදී ඉන්දීය කණ්ඩායමේ මෙම ක්‍රියාවන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට මෙන්ම ක්‍රීඩාවට ද එල්ල කරන කළු පැල්ලමක් බව පැවසූ පාකිස්ථාන නායක සල්මන් එය පිළිකුළෙන් යුතුව් හෙළා දකින බව ද පවසනවා.
Related Recomands
Hiru TV News | Programmes