Sports28 June 2026

කොදෙව් දේශයේදී ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්: කොදෙව්වන්ට පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 217ක දැවැන්ත ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඇන්ටිගුවා හි සර් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 217ක දැවැන්ත පරාජයක් අත් විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 308ක් රැස් කළ අතර, නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා ලකුණු 120ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 54ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 626ක් වැනි දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කර තිබියදී ඉනිම අත්හිටුවීමට (Declare) තීරණය කළ අතර, කොදෙව් ඉනිම ශක්තිමත් කළ අමීර් ජැන්ගෝ (Amir Jangoo) පන්දු 373කදී හතරේ පහර 19ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 233ක ද්විත්ව ශතකයක් ද, රොස්ටන් චේස් (Roston Chase) ලකුණු 194ක විශිෂ්ට ඉනිමක් ද දියත් කළා.

ඔවුන් දෙදෙනා එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි ලෙස වෙහෙසට පත් කරමින් ලකුණු 401ක සබඳතාවයක් ගොඩනැඟුවා.

ලකුණු 318ක් පිටුපසින් සිට සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිතිකරුවන්ට කොදෙව් පන්දු යවන්නන් හමුවේ කිසිදු හිස එසවීමකට අවස්ථාවක් ලැබුණේ නැහැ.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පිතිකරුවන් 7 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යාමටත් පෙර දැවී ගිය අතර, නායක ධනංජය ද සිල්වා ලකුණු බින්දුවකට දැවී ගියා.

වැඩිම ලකුණු ලාභියා වූ දිනේෂ් චන්දිමාල් රැස් කළේ ලකුණු 43ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා දෙවැනි ඉනිම පන්දු වාර 31.2කදී ලකුණු 101කට සීමා කරමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉනිමක සහ ලකුණු 217ක දැවැන්ත ජයග්‍රහණයක් සනිටුහන් කළා.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ කෙමාර් රෝච් (Kemar Roach) ලකුණු 51කට කඩුලු 4ක් සහ ජේඩන් සීල්ස් (Jayden Seales) ලකුණු 14කට කඩුලු 3ක් බැඳ හෙලමින් ශ්‍රී ලංකා ඉනිම සුන්බුන් කර දැමුවා.
Related Recomands
Hiru TV News | Programmes