Sports11 July 2026

ඉන්දියාවට දරුණු පසුබෑමක් : T20 තරගාවලිය 4-0කින් ජය එංගලන්තයට

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්තය අතර සවුත්හැම්ප්ටන්හි රෝස් බෝල් (The Rose Bowl) ක්‍රීඩාංගණයේදී පැවැති පස්වැනි සහ අවසන් 20/20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 56ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර පැවැති තරග 5කින් යුත් 20/20 තරගාවලිය 4-0ක් ලෙස නිල වශයෙන් තමන් සතු කර ගැනීමට එංගලන්තය සමත් වූයේ ඉන්දීය කණ්ඩායමට දරුණු පසුබෑමක් උරුම කර දෙමින්.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ නායක ශ්‍රේයස් අයියර් මුලින්ම පන්දු යැවීමට තීරණය කළ අතර, එංගලන්ත පිතිකරුවෝ ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව දරුණු ප්‍රහාරයක් දියත් කරනු ලැබුවා.

ආරම්භක පිතිකරු ෆිල් සෝල්ට් ලකුණු 6කට දැවී ගියද, අනෙක් අන්තයෙන් පිටියට පිවිසි ජොස් බට්ලර් සහ නායක හැරී බෲක් එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 233ක අතිවිශිෂ්ට සබැඳියාවක් ගොඩනැඟුවා.

ජොස් බට්ලර් පන්දු 64කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 131ක් රැස් කළ අතර, ඔහුට අනගි සහයක් දුන් හැරී බෲක් පන්දු 45කදී නොදැවී ලකුණු 95ක් ලබා ගත්තේ හතරේ පහර 4ක් සහ හයේ පහර 8ක් තම ඉනිමට ඇතුළත් කරමින්.

ඔවුන්ගේ මෙම ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් එංගලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 257ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ අතර, පන්දු යැවීමේදී ශිවම් දූබේ ලකුණු 22කට කඩුලු 2ක් බිඳ හෙළුවා.

ලකුණු 258ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 201ක් පමණයි.

ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා ලකුණු 3කට මුල් පෙළේදීම දැවී ගිය අතර සන්ජු සැම්සන් පන්දු 14කදී ලකුණු 27ක් රැස් කළා.

ඉන්දීය ඉනිමේ බලාපොරොත්තු ඉහළ නැංවූ ඉෂාන් කිෂාන් පන්දු 35කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 56ක් රැස් කළ අතර, මැදපෙළින් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ තිලක් වර්මා පන්දු 25කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තා.

නායක ශ්‍රේයස් අයියර් ලකුණු 28කට දැවී ගියා.

එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සෑම් කරන් ලකුණු 36කට ඉන්දීය කඩුලු 3ක් දවාගත් අතර, ආදිල් රෂීඩ් ලකුණු 24කට කඩුලු 2ක් බිඳ දැමීමට සමත් වුණා.
Related Recomands
Hiru TV News | Programmes