Sports12 July 2026

පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කළ ද. අප්‍රිකානු ක්‍රීඩක ජේඩන් ඇඩම්ස් හදිසියේම මෙලොව හැරයයි : මරණය ගැන පොලිස් පරීක්ෂණයක්

මෙවර පාපන්දු කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායම නියෝජනය කළ 25 හැවිරිදි දක්ෂ මැදපෙළ ක්‍රීඩක ජේඩන් ඇඩම්ස් (Jayden Adams) අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායම සහ මාමෙලොඩි සන්ඩවුන්ස් (Mamelodi Sundowns) සමාජය නියෝජනය කළ ඔහු, සිය රට වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියකට එක්වී සති කිහිපයක් ගතවීමටත් මත්තෙන් මෙලෙස ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.

පොලිස් වාර්තාවලට අනුව, කේප් ටවුන් නුවර ෂොට්ෂෙක්ලූෆ් (Schotschekloof) ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී 25 හැවිරිදි මොහුගේ මළසිරු‍ර අද (11) උදෑසන සොයාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් විශේෂ පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඔහුගේ මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් තහවුරු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ඛේදනීය පුවත සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් දකුණු අප්‍රිකානු ක්‍රීඩා, කලා හා සංස්කෘතික අමාත්‍ය ගේටන් මැකෙන්සි ප්‍රකාශ කළේ, ජේඩන්ගේ අභාවය තමා දැඩි කම්පනයකට පත් කළ බවයි.

2022 වසරේදී ජාතික කණ්ඩායමට අවතීර්ණය ලැබූ ජේඩන් ඇඩම්ස්, 2023 අප්‍රිකානු කුසලාන (AFCON) තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි දකුණු අප්‍රිකානු සංචිතයේ ද සාමාජිකයෙකු වුණා.

ස්ටෙලන්බොෂ් (Stellenbosch FC) කණ්ඩායමෙන් ක්‍රීඩා දිවිය ආරම්භ කළ ඔහු, 2025 ජනවාරි මාසයේදී මාමෙලොඩි සන්ඩවුන්ස් කණ්ඩායමට එක්වෙමින් එරට ලීග් ශූරතාව සහ අප්‍රිකානු චැම්පියන්ස් ලීග් ශූරතාව දිනා ගැනීමට දායක වූ අයෙක්.

ජේඩන්ගේ අභාවය වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති Gianni Infantino ද සිය කණගාටුව පළ කර ඇති අතර, ලෝක කුසලාන තරගාවලියකදී සිය රට වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් කළ මෙවැනි තරුණ ක්‍රීඩකයෙකු අහිමි වීම සමස්ත ලෝක පාපන්දු ප්‍රජාවටම දැඩි පාඩුවක් බව ඔහු සඳහන් කර තිබෙනවා.
Related Recomands
Hiru TV News | Programmes