Sports12 July 2026

සෞරව් ගංගුලි, කෙවින් පීටර්සන් සහ අංජුම් චොප්රා ICC 'Hall of Fame’ ලැයිස්තුවට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ලෝක ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් තැබූ අසහාය ක්‍රීඩකයින් තිදෙනෙකු 2026 වසර සඳහා වන කීර්තිමත් ‘Hall of Fame’ වෙත ඇතුළත් කර ඇති බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව, ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි නායක සෞරව් ගංගුලි, එංගලන්ත කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වූ කෙවින් පීටර්සන් සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ පෙරළිකාර නායිකාවක වූ අංජුම් චොප්රා මෙලෙස අභිමානවත් නාමාවලියට අලුතින්ම එක්වූ ක්‍රිකට් තරු වෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් සහ තම මව්රටවල් ජාත්‍යන්තර තලයේ ඉහළටම ඔසවා තැබීම වෙනුවෙන් සිදුකළ සුවිශේෂී මෙහෙවර අගය කරමින් පිරිනමනු ලබන මෙම ගෞරවනීය සම්මානයත් සමඟ අයි.සී.සී. Hall of Fame ලැයිස්තුවට ඇතුළත් වූ සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 125ක් දක්වා ඉහළ යන බවයි වාර්තා වන්නේ.

ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ වඩාත් ප්‍රවේගකාරී සහ බියගැන්විය නොහැකි නායකයෙකු ලෙස ප්‍රකට සෞරව් ගංගුලි ඉන්දියාව ලෝක ක්‍රිකට් බලවතෙකු බවට පත්කිරීමේ මූලික අඩිතාලම දැමූ නායකයා ලෙස සැලකෙනවා.

මේ අතර, ඉන්දීය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ නව යුගයක් සනිටුහන් කරමින් එම ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ අංජුම් චොප්රා ද මෙවර ප්‍රණාම ලැයිස්තුවට ඇතුළත් වීම විශේෂත්වයක්.

එංගලන්ත ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ වඩාත්ම ආකර්ෂණීය සහ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන කෙවින් පීටර්සන් ද මෙවර අයි.සී.සී. ප්‍රණාම ලැයිස්තුවේ සිය අයිතිය තහවුරු කරගෙන තිබෙනවා. ජාත්‍යන්තර තරඟ රටාවන් ත්‍රිත්වයෙන්ම ලකුණු 13,797ක් රැස්කර ඇති පීටර්සන්, එංගලන්තය ලැබූ අළුබඳුන (Ashes) තරඟාවලි ජයග්‍රහණ රැසක ප්‍රධාන ගාමක බලවේගය වූ අතර 2010 වසරේ එංගලන්තය විස්සයි-20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේදී තරඟාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ද ඔහුයි.
Related Recomands
Hiru TV News | Programmes