General10 March 2020

මීගමුව - පෙරියමුල්ලේ හෝටලයක කඩා වැදුණු පිරිසක් පහර දී, අයෙක් මරුට - 4ක් රෝහලේ

මීගමුව - පෙරියමුල්ල ප්‍රදේශයේ හෝටලයකට ඊයේ රාත්‍රියේ කඩා වැදුණු පිරිසක් එහි හිමිකරු සහ කාර්ය මණ්ඩලය සමඟ ඇති කර ගත් ගැටුමකදී එහි සේවකයෙකු මිය ගොස් තවත් 3 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ඊයේ රාත්‍රී 9.30ට පමණ 6 දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙලෙස එම හෝටලයට පැමිණ මත්පැන් පානය කිරීමට උත්සාහ කිරීමේදී හෝටල් හිමිකරු සහ සේවකයන් ඊට විරුද්ධ වීමත් සමඟයි ගැටුම හටගෙන ඇත්තේ.

එහිදී එම පිරිස හෝටල් හිමිකරුට සහ සේවකයන්ට තියුණු ආයුධයකින් පහර දී පළා ගොස් තිබෙනවා.

පහරකෑමට ලක්වූ වෙළඳසැල් හිමිකරු ඇතුළු 4 දෙනෙකු බරපතල තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී එක් සේවකයෙකු මිය ගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ කැකිරාව - ගනේවැල්පොල පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකර බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.



Related recommendation
Hiru TV News | Programmes