General25 October 2025

මහියංගන රජ මහා විහාරයේ තඹ බුදු පිළිමය ඉස්සූ නරුමයන් සොයා විමර්ශන

ඓතිහාසික මහියංගණ රජමහා විහාරස්ථානයේ කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ තඹ කිලෝ 40ක් පමණ වන වටිනා ඉතා පෞරාණික බුද්ධ ප්‍රතිමාවක් ඉකුත් (22) වැනිදා දින රාත්‍රි සොරාගෙන ගොස් තිබෙනවා.

එම කෞතුකාගාරයේ දොරක් කඩා එම බුදු පිළිමය සොරකම් කරගෙනගොස් ඇති බව, අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ සංඝ සභික මහියංගණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ පැවසූවා.

ඓතිහාසික මහියංගණ රජමහා විහාරස්ථානයේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරන සමයේ චෛත්‍ය කැණිම් සිදු කළ අවස්ථාවේ එහි තිබී හමු වු බුද්ධ ප්‍රතිමාවක් එලෙස සොරකම් කර ඇති බවත්, තඹ ලෝහයෙන් සකස්කරන ලද එම පිළිම වහන්සේ කිලෝ 40ක් පමණ බර එකක් බව උන්වහන්සේ ප්‍රකාශ කර සිටියා.

කෞතුකාගාරය පිටුපසින් ඊට ආසන්නයේ ගසකින් කෞතුකාගාරයේ වහලය මතට නැඟ ඉහළ මාලයේ දොරක් කඩා කෞතුකාගාරයට ඇතුළු වී, එහි පහත මාලයේ තිබූ බුද්ධ ප්‍රතිමාව සොරකම් කරගෙන ගොස් ඇති බවත්, මාස කිහිපයක සිය කෞතුකාගාරයේ සී සී ටිවි කැමරාද අක්‍රියව තිබු බවත්,  කෞතුකාගාරයේ පිටුපස තිබු කැමරාවක රාත්‍රි 1.00ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු ස්කූටියකින් ගමන්කරන ආකාරය සටහන්ව ඇති බවත් උන්වහන්සේ පවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණ පොලිසිය විමර්ශන කටයුතු ආරම්භකර තිබුණා.

රජමහා විහාරස්ථානය දෙපස ගම්මානවල දැඩි ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහි වු හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනා පිරිසක් සිටින බැවින්, නිරන්තරයෙන් මහියංගණ රජමහා විහාරස්ථානයේ සොරකම් රැසක් සිදුවන බවත්, මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුවන් මෙම සොරකම් වලට සම්බන්ධ බව විහාරාධිපති හිමියන් පැවසුවා.

මහියංගණ රජමහා විහාරස්ථානයේ පොලිස් මුරකුටියක් හා යුද හමුදා කඳවුරක් තිබුණද එම නිළධාරින්ගෙන් රජමහා විහාරස්ථානයට අවශ්‍ය පරිදි ආරක්ෂාවක් නොලැබෙන බවට වාර්තා වෙයි.

එහි ආරක්ෂාව සඳහා අවශ්‍ය නිළධාරින් එම ආයතනයන්හි අවම ප්‍රමාණයක සිටිම හේතුවෙන් රජමහා විහාරස්ථානයේ ආරක්ෂාව සපුරාලීමට නොහැකිව ඇති බවත්, වගකිවයුතු බලධාරින්ගේ මැදිහත්වීමකින් විහාරස්ථානයේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටියා.

Related Recommends
Hiru TV News | Programmes