General11 November 2025

"මල්ලි නැතුව දැන් ඉතින් මුළු ගෙදරම පාළුයි” - සබරගමු විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවකුගේ ශෝකාන්තය

“යාළුවෙකුගේ උපන්දින පාටියකට යනවා කියල අම්මට කියලා තමයි මල්ලි ගිහින් තිබුණෙ. අම්මට දෙතුන් පාරක් එයා කෝල් කරලා තිබුණා. හවස 6.30ට විතර කතා කරනකොට කටහඬ අමුතු වෙලා තිබිලා. සෙම්ගෙඩි හැදිල කියලා කිව්වලු. ඊට පැය භාගෙකට විතර පස්සේ තමයි යාළුවා කතා කරලා අම්මට කියලා තියෙන්නේ දනුකට අමාරුයි ඉක්මනට ඉස්පිරිතාලට එන්න කියලා. අනේ යද්දි මල්ලි අපිව දාලා ගිහින්. අපේ මල්ලි නැතුව දැන් ඉතින් මුළු ගෙදරම පාළුයි” යැයි තම එකම සහෝදරයාගේ හදිසි අකල් වියෝව දරාගත නොහැකිව තරීශා දිසානායක (25) හඬා වැළපෙමින් පැවසුවා.

දනුක ගංගාසර දිසානායක 21 හැවිරිදි වියේ පසු වූ විශ්ව විද්‍යාල සිසුවෙක්. ඔහුගේ උගුර ප්‍රදේශයේ ඇති වූ සෙම අමාරුවක් මත පසුගිය 02 දා හොරණ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇතත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී තිබුණේ අවාසනාවකටයි.

02 වසර පංතියේ සිට කොළඹ ඉසිපතන විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දනුක සාපෙළ විභාගය උසස් ලෙස සමත්ව උසස් පෙළ සඳහා තෝරාගෙන ඇත්තේ ගණිත අංශයයි.

ගණිතය මෙන්ම භෞතික විද්‍යා විෂයට ද එක ලෙස දක්ෂතා දැක්වූ ඔහු උසස් පෙළ විභාගය ද විශිෂ්ඨ ලෙස සමත්ව සබරගමුවිශ්ව විද්‍යාලයේ ව්‍යහාරික විද්‍යා පීඨයට ඇතුළත් වූයේ සිය දෙමව්පියන්ගේ ජීවිතවලට බලාපොරොත්තු ගොන්නක් එකතු කරමින් වුවත් අද ඒ සියල්ල බිඳී ගොස් අවසානයි.

බොහෝ මිතුරු පිරිසක් ඇසුරු කළ දනුක ඔවුන් සමග නිතරම ගීත ගයමින් විනෝදයෙන් කෙලිදෙලෙන් ගත කළ තරුණයෙක්. ප්‍රදේශයේ කවුරුත් ඔහුට ආදරය කළේ ඔහු තුළ පැවැති අහිංසක ගතිගුණ හේතුවෙන්මයි.

විශ්ව විද්‍යාල අධ්‍යාපනයට අත්පොත් තබා සතියක් වැනි කාලයක් තුළ වුවද ඔහුට බොහෝ මිතුරු පිරිසක් එකතු වී සිටියේ මිතුරන් අතර ඔහු ජනප්‍රිය චරිතයක් වූ බැවින්.

විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේ සතියක පමණ කාලයක සිට නතර වී සිටි දනුක පසුගිය 31 සිකුරාදා රාත්‍රියේ නිවෙසට පැමිණියේ නිවාඩු දින දෙක මවුපියන් සමඟ ගතකර නැවත විශ්ව විද්‍යාලයට යෑමේ බලාපොරොත්තුවෙන් වුවත් ඊට ඉඩ නොතබාම මරුවා ඔහු වෙත රැගෙන ගියේ සියල්ලම කණපිටට හරවමින්.

මීට මාසයකට ප්‍රථම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය සම්පූර්ණ කර ගත් තරීශා, දනුකගේ එකම සහෝදරිය වන අතර ඔහුගේ මව හා පියාද රැකියාව කරන්නේ එම විශ්ව විද්‍යාලයේම අනධ්‍යයන කාර්ය මණ්ඩලයේයි.

වාවාගත නොහැකි ශෝකයෙන් ඔහුගේ සහෝදරිය වූ තරීශා මෙලෙස පැවසුවා.

“මට හිටියේ මල්ලි විතරක් වගේම මල්ලිට හිටියෙත් මං විතරයි. ඒ හින්දා මාත් එක්ක හරිම යාළුයි. ඕන දෙයක් මාත් එක්ක කියනවා. ඒ වගේ තමයි අම්ම තාත්තටත් හරිම ආදරෙයි. හොර බොරු කරන්නේ නෑ. මල්ලි ඉගෙනීමට වගේම ඩ්‍රාමාවලට ස්විමින්වලට ක්‍රීඩාවලට දක්ෂයි. ඒ වගේම ගිටාර් ප්ලේ කරන්නත් එයා හරි කැමතියි. එයා ඉන්න කොට නිතරම ගේ පිරිලා. නිතරම මල්ලි කැවුම් හදනවා හරිම රසට. අම්මගෙන් තමයි උදව් ගත්තේ. යාළුවොත් එක්ක සින්දු කිය කිය නිතරම විනෝද වෙනවා. කැම්පස් පටන් ගන්න ගොඩක් කල් ගිය හින්දා ට්‍රිප් ගිහිල්ල යාළුවෝ ගොඩක් අඳුනගෙන තිබුණා. එයාගේ යාළුවො ගොඩක් හොඳ අය.

මල්ලි හොස්ටල් එකේ ඉඳලා සිකුරාද රෑ තමයි ගෙදර ආවේ. පොඩි හෙම්බිරිස්සා ගතියක් තිබුණා. දේශගුණය වෙනස් වුණු හින්දා වෙන්න ඇති. පහුවදා බේත් අරන් ඒකට අඩුවෙලා තිබුණා. 02 දා යාළුවකුගේ උපන්දිනයක් තිබුණා. චිත්‍රපටයකුත් බලලා ඒ පාටියටත් යනවා කියල අම්මට කියලා තමයි ගිහින් තිබුණෙ. අම්මට දෙතුන් පාරක් එයා කෝල් කරලා. හවස 6.30ට විතර කතා කරනකොට කටහඬ අමුතු වෙලා තිබිල. සෙම්ගෙඩි හැදිල කියලා කිව්වලු. ඊට පැය භාගෙකට විතර පස්සේ තමයි යාළුව කතා කරලා අම්මට කියලා තියෙන්නේ දනුකට අමාරුයි ඉක්මනට ඉස්පිරිතාලට එන්න කියලා.

අනේ අපේ මල්ලි නැතුව දැන් ඉතින් මුළු ගෙදරම පාළුයි.. හිටිහැටියේ ගහක් ගලක් වගේ විනෝදෙන් හිටිය මල්ලි නැති වුණා කියලා කිව්වම මම නම් කීයටවත්ම ඒක ඇත්තක් කියලා විශ්වාස කළේ නෑ. ඒ හින්දා මං උදේ වෙනකං ඒ ගැන කාටවත් කිව්වෙත් නෑ. ඒත් පහුවදා බැලුවම ඒක ඇත්ත වෙලා. මට එතකොට එකපාරටම කිසිම දෙයක් කර කියාගන්න බැරි වුණා”

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන දනුකගේ හොඳම මිතුරෙකුගේ ගෝනපල ප්‍රදේශයේ නිවෙසට ඔහු යන්නේ උපන් දින සාදයට සහභාගි වීමටයි.

නිවෙස් දෙකටම යන එන මෙම දරුවන් පිළිබඳ වැඩිහිටියන්ද හොඳින් දැන හඳුනාගෙන සිටියේ කාලයක සිටය. දනුකගේ ඉල්ලීම පරිදි මිතුරා විසින් ඉඟුරු දෙහි ඇඹුල් සුදුලූණු ගුලියක් අඹරා දීමට කටයුතු කර තිබුණේ සෙම් අමාරුවට අත් බෙහෙතක් නිසායි.

ඉන් පසුව සෙම පිට වුණත් දනුකට කතා කර ගැනීම තරමක් අපහසු තත්ත්වයට පත්වී තිබිණා. මිතුරා ඔහුගේ මවත් පියත් සමඟ ඡායාරූපයක් ගැනීමට ගිය අතර නිවෙසේ සිටි කීප දෙනෙක් ඔහු වෙත පැමිණ පැවසුවේ දනුකට අමාරු බවයි.

ඔවුන් ඉක්මනින් ඔහුව හොරණ පුද්ගලික රෝහලකට රැගෙන ගිය අතර එහිදී පවසා ඇත්තේ රෝහලට රැගෙන යන ලෙසයි. රෝහලට රැගෙන යාමට මිතුරාගේ මෝටර් රථයට නංවා ගන්නා විට දනුක විසින් මිතුරාට පවසා ඇත්තේ හුස්ම ගැනීමට අමාරු බවයි.

ඒ ඔහුගේ අවසන් වදන් වන බව කිසිවකුත් දැන සිටියේ නැත.

මෙම තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සඳකැන් වඩුගේ විසින් සිදුකළ අතර හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන විසින් විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත්කළා.

කෙසේ වුවත් වැල්මිල්ල හන්දිය, කිඳෙල්පිටිය, මහවත්ත ප්‍රදේශයම කඳුළින් නහවා අවසන් බුහුමන් දැක්වීමට පැමිණි ජනගගකට සමු දී දනුක ගංගාසර මිහිදන් වූයේ හෙට සමාජයට වටිනා දරුවෙකු අහිමි කරමින් වීම කණගාටුවට කරුණක්.
Related recommendation
Hiru TV News | Programmes