International28 April 2026

ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය ඉන්දියාව දැඩි ලෙස හෙළා දකියි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ උත්සවයකදී සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම ඉන්දියාව දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එම ප්‍රහාරය දැඩිව හෙළා දුටු බවයි.

"ප්‍රජාතන්ත්‍රවාදය තුළ ප්‍රචණ්ඩත්වයට ඉඩක් නැත" යනුවෙන් සිය X ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍ය මෝදි පවසා තිබෙනවා.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ට්‍රම්ප් ආරක්ෂිතව සිටින බව දැන ගැනීමෙන් තමා සැනසීමට පත් වූ බවයි.

ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ පැවති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර වෙඩි හඬ ඇසීමත් සමඟ ඇමරිකානු ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ අනෙකුත් ඉහළ පෙළේ ධවල මන්දිර නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත් කර තිබුණා.

"වොෂින්ටන් ඩීසී හෝටලයක වූ එම සිදුවීමෙන් පසු ජනාධිපති ට්‍රම්ප්, ජනාධිපති බිරිඳ සහ උප ජනාධිපතිවරයා නිරුපද්‍රිතව සහ ආරක්ෂිතව සිටින බව දැන ගැනීමෙන් සැනසුමක් දැනේ. ඔවුන්ගේ අඛණ්ඩ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා මම මගේ සුබ පැතුම් පිරිනමමි. ප්‍රජාතන්ත්‍රවාදය තුළ ප්‍රචණ්ඩත්වයට ඉඩක් නොමැති අතර එය නිසැකවම හෙළා දැකිය යුතුය," යනුවෙන් X සටහනේ සඳහන්.
Related Recommends
Hiru TV News | Programmes