General29 April 2026

'' සරම්ප යැයි සැක නම් වහාම වාර්තා කරන්න'' සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම්දීමක්

සරම්ප රෝගය යැයි සැක කළ හැකි ඕනෑම රෝගියෙකු පිළිබඳව ජාතික නිරීක්ෂණ පද්ධතිය හරහා වහාම වාර්තා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සියලුම වෛද්‍ය වෘත්තිකයන්ට නියෝග කර තිබෙනවා.

ඉංග්‍රීසි පුවත්පතකට අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ සඳහන් කළේ, උණ සමඟ සමේ පලු දැමීම හෝ රතු පැහැති ලප (Rashes) මතු වන රෝගීන් පිළිබඳව පසු විපරම් කටයුතු සඳහා වහාම සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කළ යුතු බවයි.

පෞද්ගලික රෝහල් වෙත පැමිණෙන එවැනි රෝගීන් වැඩිදුර කළමනාකරණය සහ නිසි අධීක්ෂණය සඳහා රජයේ රෝහල් වෙත යොමු කරන ලෙස ද ඔහු පෞද්ගලික අංශයේ වෛද්‍යවරුන්ට උපදෙස් දී තිබෙනවා.

සරම්ප පැතිරීම වැළැක්වීමට ඇති එකම සහ වඩාත් සාර්ථක ක්‍රමය එන්නත්කරණය බවයි වෛද්‍ය ලියනපතිරණ මෙහිදී පවසා සිටියේ.

මාස 9 සිට අවුරුදු 3 දක්වා: අවම වශයෙන් සරම්ප එන්නතේ එක් මාත්‍රාවක් ලබාගත යුතු අතර අවුරුදු 3 සිට 15 දක්වා එන්නත් මාත්‍රාවන් දෙකම සම්පූර්ණ කර තිබිය යුතුයි.

තමන්ට හෝ තම දරුවන්ට උණ සමඟ සමේ පලු දැමීමක් වැනි රෝග ලක්ෂණ පවතී නම්, වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන්නැයි සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

පසුගිය වසරේ ජනවාරි මාසයෙන් පසුව මෙරටින් කිසිදු සරම්ප රෝගියෙකු වාර්තා නොවූ අතර, පසුගිය මාසයේදී රෝගීන් දෙදෙනෙකු අලුතින් හඳුනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙම රෝගීන් දෙදෙනාම විදේශගතව සිට මෙරටට පැමිණි අය බවයි සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes