International30 April 2026

රුසියානු විදේශ ඇමති ඉන්දියාවට

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ඉන්දියාවේ සංචාරයකට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ලබන මාසයේ නවදිල්ලියේ පැවැත්වෙන බ්‍රික්ස් (BRICS) විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ඉන්දියාවේ සංචාරයක නිරත වන බව රුසියානු විදේශ අමාත්‍යාංශය තහවුරු කර ඇති බවයි.

මොස්කව්හි පැවැති මාධ්‍ය හමුවකදී රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකරෝවා පැවසුවේ, ලැව්රොව් සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් අතර ද්විපාර්ශ්වික සබඳතා සහ වෙළඳ, ආර්ථික, විද්‍යාත්මක, තාක්ෂණික හා සංස්කෘතික සහයෝගීතාව පිළිබඳ රුසියානු-ඉන්දීය අන්තර් රාජ්‍ය කොමිසමේ රැස්වීම් සඳහා සූදානම් වීම ඇතුළු තවත් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා පවත්වනු ඇති බවයි.

"මැයි 14 සහ 15 යන දිනවල රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් නවදිල්ලියේ පැවැත්වෙන බ්‍රික්ස් රටවල විදේශ අමාත්‍ය මණ්ඩල සැසියට සහභාගී වනු ඇති.

ඉන්දියාවේ සභාපතිත්වය යටතේ පැවැත්වෙන මෙම සැසිය ජාත්‍යන්තර න්‍යාය පත්‍රයේ අදාළ කරුණු පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කිරීමටත්, ගෝලීය පාලන පද්ධතිය වැඩිදියුණු කිරීමට සහ ලෝකයේ බහුතර රටවල භූමිකාව වැඩි කිරීමටත් හොඳ අවස්ථාවක් වනු ඇත.

මේ වසරේ සැප්තැම්බර් මාසයේදී නවදිල්ලියේ පැවැත්වීමට නියමිත 18 වන බ්‍රික්ස් සමුළුවට සූදානම් වීම සහ බ්‍රික්ස් හවුල්කාර රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත," යැයි සකාරෝවා සඳහන් කළා.

බ්‍රික්ස් (BRICS) විදේශ අමාත්‍ය මණ්ඩල සැසියට සහභාගී වීම සඳහා රුසියානු විදේශ අමාත්‍ය ලැව්රොව් නවදිල්ලියේ රැඳී සිටින කාලය තුළ, ඔහු ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා ද ඇතුළුව පූර්ණ ද්විපාර්ශ්වික සංචාරයක නිරත වනු ඇති..

ඔවුන් සමස්ත ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම ඉහළම මට්ටමේ සහ ක්‍රියාකාරී මට්ටමේ සම්බන්ධතාවල කාලසටහන පිළිබඳව ද සාකච්ඡා කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

වෙළඳ, ආර්ථික, විද්‍යාත්මක, තාක්ෂණික සහ සංස්කෘතික සහයෝගීතාව පිළිබඳ රුසියානු-ඉන්දීය අන්තර් රාජ්‍ය කොමිසමේ රැස්වීම් සූදානම් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති.

තවද, ඔවුන් දෙපාර්ශවයටම වැදගත් වන පොදු කරුණු පිළිබඳව සලකා බලනු ඇති අතර, ඉහළ මට්ටමේ සම්බන්ධතා පැවැත්වීම සහ ඒවා සූදානම් කිරීම පිළිබඳව ද අදහස් හුවමාරු කරගනු ඇත," යනුවෙන් ඇය වැඩිදුරටත් පවසා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes