General04 May 2026

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් 7කට අත්සන් තබයි

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (04) ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණා.

එහිදී සංචාරක, අධ්‍යාපන, සෞඛ්‍ය සහ ක්‍රීඩා ඇතුළු කේෂ්ත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් 7කට අත්සත් තැබුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

පොලිස් අශ්වාරෝහක බලකාය පෙරටු කරගනිමින් මාලදිවයින් ජනාධිපතිවරයාව ජනාධිපති කාර්යාල පරිශ්‍රය වෙත කැඳවාගෙන ආ අතර, පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සම්මාන වෙඩිමුර 21 පවත්වා ඔහුව පිළිගනු ලැබුවා. අනතුරුව මාලදිවයින ජනාධිපතිවරයා වෙත ත්‍රිවිධ හමුදා උත්තමාචාර ද පිරිනමනු ලැබුවා.

ඉන් පසුවයි, දෙරටේ නායකයින් අතර ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වුණේ.

අනතුරුව පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක කියා සිටියේ ශ්‍රී ලංකා මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලය සඳහා කොළඹින් ඉඩමක් වෙන්කර ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස මාලදිවයින විසින් ද ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහා ඉඩමක් වෙන්කර ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes