International04 May 2026

ජනතා තීන්දුව පිළිගන්නවා; ශක්තිමත් විපක්ෂයක භූමිකාව ඉටු කරනවා - ස්ටාලින්

තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයෙන් ලැබූ පරාජය හමුවේ ජනතා තීන්දුව නිහතමානීව පිළිගන්නා බවත්, ඉදිරියේදී වඩාත් කාර්යක්ෂම විපක්ෂයක් ලෙස කටයුතු කරන බවත් තමිල්නාඩු හිටපු මහ ඇමති එම්. කේ. ස්ටාලින් පවසනවා.

අද (04) විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජයග්‍රහණය කළ සියලු දෙනාට තමන් සුබ පතන බවයි.

එමෙන්ම, තමන් මෙතෙක් කල් කාර්යක්ෂම පාලක පක්ෂයක් ලෙස කටයුතු කළා සේම, ඉදිරියේදී ජනතාව වෙනුවෙන් පෙනී සිටින සක්‍රීය විපක්ෂයක් ලෙස ක්‍රියා කරන බව සඳහන් කර තිබෙනවා.

දශක ගණනාවක් තිස්සේ තමිල්නාඩු දේශපාලනය හෙබවූ DMK-AIADMK ද්විත්ව පාලනය බිඳ දමමින්, සුපිරි නළු විජේගේ නායකත්වයෙන් යුත් 'තමිලග වෙට්රි කලගම්' (TVK) පක්ෂය 2026 ප්‍රාන්ත සභා මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

මෙම මැතිවරණයේ වඩාත්ම සුවිශේෂී සිදුවීම වූයේ හිටපු මහ ඇමති එම්. කේ. ස්ටාලින් සිය කොලතූර් (Kolathur) බලකොටුවේදී TVK අපේක්ෂක වී.එස්. බාබු හමුවේ ඡන්ද 8,795 කින් පරාජයට පත්වීමයි.

විජේගේ TVK පක්ෂය මේ වන විට ජයග්‍රහණය ලබා පෙරමුණේ පසුවන අතර එය ප්‍රාන්තයේ තනි විශාලතම පක්ෂය බවට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත්, ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන 118 ක බහුතරය ලබා ගැනීමට එම පක්ෂයට තවත් ආසන කිහිපයක හිඟයක් පවතිනවා.

මූලාශ්‍රය | ද හින්දු
Related recommendation
Hiru TV News | Programmes