General05 May 2026

හබරාදුවේ ඇඟලුම් සේවිකාවගේ මරණය අකුණු වැදීමෙන් නොව වහලයේ කොටස් හිසේ වැදීමෙන් බව හෙළි වෙයි

හබරාදුව කොක්වත්තේදී පෙරේදා (3) අලුයම අකුණුසැර වැදුන නිවසේ නිදා සිටියදී මිය ගිය ඇඟලුම් කම්හල් සේවිකාවගේ මරණය සිදුවී ඇත්තේ අකුනුසැර වැදීමෙන් නොව අකුනු වැදී කඩා වැටුණ නිවෙසේ වහලේ සහ බිත්තිවල කැබලි හිසේ වැදී ඇති වු දරුණු තුවාලවලින් බව ඒ පිළිබද මරණ පරීක්ෂණය පැවැත්වු හබරාදුව හදිසි මරණ පරීක්ෂණයේදී හෙළිව තිබෙනවා.

හබරාදුව හදිසි මරණ පරීක්ෂක කමල් ගාමිණීතිලක ඉදිරියේ කරාපිටිය ජාතික රෝහලේදී පවත්වනු ලැබූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙම තීරණය ඊයේ (04) ප්‍රකාශයට පත් කෙරුණා.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කරාපිටිය ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී චිත්‍රානී වීරසිංහ වාර්තා කර සිටියේ මොට යමක් හිසේ වැදීමෙන් සිදු වූ බරපතල තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

ඒ අනුව මරණ පරීක්ෂකවරයා තීන්දු කළේ අකුණු වැදීමත් සමඟ නිවසේ බිත්ති සහ වහලයේ කොටස් කඩා වැටී තරුණියගේ හිසට හානි සිදුවීම මරණයට හේතුව වී ඇති බවයි.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පස්ගොඩ, රොටුඹ පාර පදිංචිව සිටි, කොග්ගල ආයෝජන කලාපයේ ඇඟලුම් කම්හලක සේවය කළ සේනානායක සේදිගල්ලගේ ඉමාෂා මධුභාෂිණි හිතවංස (25) නමැති තරුණියක්.

ඇය සමඟ එම නිවසේ නවාතැන් ගෙන සිටි තවත් තරුණියක් බරපතළ තුවාල ලබා කරාපිටිය ජාතික රෝහලේ දැනටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

මියගිය තරුණියගේ පියා වන සේනානායක සේදිගල්ලගේ උපුල් හිතවංස (56) සාක්ෂි දෙමින් මෙසේ පැවසුවා.

"මියගොස් සිටින්නේ මගේ දෙවැනි දුවයි. එයා අවුරුදු එකහමාරක සිට කොග්ගල රැකියාව කරමින් හබරාදුවේ කාමරයක් කුලියට ගෙන නතර වී සිටියා. පසුගිය 02 වැනිදා දුව ගෙදර එන්න ඇහුවත්, රෑ බෝ වන නිසා මම එන්න එපා කිව්වා. ඊට පස්සේ අලුයම 2.30 ට විතර අපිට පණිවිඩයක් ආවා දුවලා ඉන්න කාමරයට අකුණක් වැදී රෝහල් ගත කළා කියලා. එන විටත් දුව මියගොස් සිටියා."

හබරාදුව පොලිසියේ සැරයන් සත්සර ගුණසේකර (62021) විසින් සාක්ෂි මෙහෙයවන ලදී.

මෙම සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන අනෙක් තරුණිය සුවය ලබා රෝහලෙන් පිටවූ පසු ඇයගෙන්ද ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරයා උපදෙස් දී ඇතැයි ද ‍පොලිසිය සඳහන් කරනවා.
Related recommendation
Hiru TV News | Programmes